
බ්‍රිතාන්‍යයේ කාඩිෆ් නුවරදී සිය වෙන්ව ජීවත් වූ බිරිඳව අමානුෂික ලෙස ඝාතනය කළ 37 හැවිරිදි තිසර වීරගලගේ නමැත්තාට කාඩිෆ් ක්‍රවුන් අධිකරණය විසින් වසර 23ක අවම කාල සීමාවක් සහිත ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර තිබේ. රිවර්සයිඩ් ප්‍රදේශයේ රථගාලක් තුළදී අගෝස්තු මාසයේදී මෙම ඝාතනයට ලක්ව ඇත්තේ නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල හෙවත් නිරෝධා නමැති කාන්තාවකි.
ඇය සිය සේවා ස්ථානයේ මිතුරෙකු සමඟ ඇතිකරගත් සබඳතාවක් හේතුවෙන් ඇති වූ දැඩි ඊර්ෂ්‍යාව මත සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.ඝාතනය සිදු වූ දින උදෑසන නිරෝධා අදාළ රථගාල වෙත පැමිණෙන බව කල්තියා දැන සිටි වීරගලගේ, සෙන්ටිමීටර 15ක මුළුතැන්ගෙයි පිහියකින් ඇයට එහිදී දරුණු ලෙස පහර දී ඇත. ඇයගේ මුහුණට, බෙල්ලට, පපුවට, අතට සහ කකුලට එල්ල වූ බරපතළ පිහි ඇනුම් හේතුවෙන් ඇය එම ස්ථානයේම නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර මියගොස් සිටියාය. මෙම ප්‍රහාරය කෙතරම් අමානුෂික සහ දරුණු වීද යත්, පහර දීමට යොදාගත් පිහියේ මිටද කැඩී ගොස් තිබූ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මයිකල් ජෝන්ස් ප්‍රකාශ කළේය.
සුනඛයෙකු සමඟ ඇවිදිමින් සිටි පුද්ගලයෙකු ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු මෙම ඝාතකයා සිය ෆෝඩ් ෆියෙස්ටා (Ford Fiesta) වර්ගයේ මෝටර් රථයෙන් වේගයෙන් පලා යන අයුරු දැක ඇති අතර, පසුව නිරෝධාගේ නිසල සිරුර දැක ඒ පිළිබඳව බලධාරීන්ට දන්වා ඇත. ඉන් සුළු වේලාවකට පසු ට්‍රෙමෝෆා ප්‍රදේශයේදී දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරුණු වීරගලගේ, ලොරි රථයක රෝදයකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, ඉන් බරපතළ තුවාල නොලද ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ මෝටර් රථයේ තිබී ලේ වැකුණු අත්වැසුම් සහ පිහි ඇතුළත් විවෘත කරන ලද පාර්සලයක්ද සොයාගනු ලැබිණි.
මෙම යුවළ 2017 වසරේදී ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති අතර, 2022 වසරේදී ඔවුන් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වී ඇත්තේ සිය වෘත්තීය සහ අධ්‍යාපන අපේක්ෂාවන් සපුරා ගැනීමේ අරමුණෙනි. එහෙත් අපේක්ෂිත රැකියාවන් නොලැබීම හේතුවෙන් නිරෝධා වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක රැකියාවකට එක්ව ඇති අතර, මේ වන විටත් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ගැටලු රැසක් නිර්මාණය වී තිබී ඇත. සිය සැමියාගෙන් තමාට කායික හිරිහැර සිදුවන බවත්, ඔවුන් අතර ලිංගික ගැටලු පවතින බවත් නිරෝධා සිය සේවා ස්ථානයේ මිතුරෙකු වන ජේම්ස් ස්ටීවන්සන් වෙත පවසා තිබුණි.
මෙම මිත්‍රත්වය පිළිබඳව දැනගත් වීරගලගේ ඔවුන් පසුපස ලුහුබැඳීමට සහ ඔත්තු බැලීමට පටන් ගත් අතර, තමාට සහ නිරෝධාට එල්ල විය හැකි තර්ජන හේතුවෙන් ස්ටීවන්සන් එම සබඳතාව තාවකාලිකව නතර කර ඇත. කෙසේ නමුත්, 2025 අප්‍රේල් මාසය වන විට නිරෝධා සහ වීරගලගේ වෙන්ව ජීවත් වීමට පටන් ගෙන තිබූ අතර, සිය බිරිඳ නොමැතිව ජීවත් විය නොහැකි බව පවසමින් වීරගලගේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සිටින ඇයගේ පියාටත්, ස්ටීවන්සන්ටත් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මගින් බලපෑම් කර තිබේ. පසුව ස්ටීවන්සන් සහ නිරෝධා යළිත් සිය සබඳතාව අලුත් කරගත් අතර, තම සැමියා තමන් දෙදෙනාම ඝාතනය කරන බවට තර්ජනය කරන බව නිරෝධා සිය මිතුරියකටද කෙටි පණිවිඩයක් මගින් දන්වා ඇත.
මෙම ඝාතනය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති බවත්, අපරාධකරු ඝාතන ආයුධ මිලදී ගෙන අවස්ථා කිහිපයකදීම අදාළ ප්‍රදේශයේ සැරිසරමින් මේ සඳහා සූදානම් වී ඇති බවත් රජයේ නීතිඥ එමා ඩේවිස් අධිකරණයට කරුණු දැක්වීය. විත්තිකරුගේ ඊර්ෂ්‍යාව සහ කෲර ආත්මාර්ථකාමීත්වය හේතුවෙන් නිරෝධාගේ ජීවිතය අකාලයේ අහිමි වී ඇති බව දඬුවම් නියම කරමින් විනිසුරු ඩැනියෙල් විලියම්ස් ප්‍රකාශ කළේය. නිරෝධා යනු සැමගේ ආදරය දිනාගත් යහපත් තැනැත්තියක බවත්, ඇයගේ වියෝව තම පවුලට කිසිදා පියවිය නොහැකි පාඩුවක් බවත් ඇයගේ පවුලේ සාමාජිකයෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියහ.