tuition-master-who-sheltered-lawyer-killer-manoj-arrested

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවැනි වෙඩික්කරුට නවාතැන් පහසුකම් සැපයූ බව කියන 50 හැවිරිදි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු මොනරාගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම නන්නපුරාව, දිවියාපොළ හන්දියේ පිහිටි තාවකාලික නිවසක සැඟවී සිටියදීය.

මෙම උපකාරක පන්ති ගුරුවරයා විසින් හිටපු නාවික භටයෙකු වන අදාළ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකුට සැඟවී සිටීම සඳහා මොනරාගල, නක්කල ටැංවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවස ලබා දී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග මෙම ගුරුවරයාට ඇති සබඳතා පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතව සිටියි. පසුගිය 13 වැනිදා සිදු වූ මෙම ද්විත්ව ඝාතනයට අදාළව මේ වන විට වෙඩික්කරුවන් ලෙස ක්‍රියා කළ හිටපු යුද හමුදා සෙබළෙකු සහ හිටපු නාවික භටයෙකු ඇතුළුව පුද්ගලයින් හත්දෙනෙකු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ නීතිඥවරයාට සහ බිරිඳට වෙඩි තැබීම සඳහා සැකකරුවන් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් භාවිත කර ඇති අතර, එහිදී ටී 56 උණ්ඩ හයක් සහ පිස්තෝල උණ්ඩ දෙකක් නිකුත් වී ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. වෙඩි ප්‍රහාරයෙන් නීතිඥවරයාගේ හිසට සහ ඔහුගේ බිරිඳගේ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී තිබිණි. මෙම අපරාධය ජයලත් සිල්වා හෙවත් 'කරන්දෙණියෙ සුද්දා'ගේ උපදෙස් මත, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මෝදර නිපුණ නමැත්තාගේ මස්සිනා වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුසංඛ නොහොත් 'ටුටු' නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.




මෙලෙස ඝාතනයට ලක් වූ නීතිඥවරයා පසුගිය වසර පහක කාලය තුළ අපරාධ නඩු සඳහා පෙනී සිටි අයෙකු බව පොලිසිය පවසයි. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ නඩු සඳහාද ඔහු පෙනී සිට ඇත. මීට අමතරව, බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනවිත් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි සුජීව රුවන් කුමාර හෙවත් 'ලොකු පැටි' නැමැත්තාට නීතිමය සහාය ලබා දී ඇත්තේ ද මෙම නීතිඥවරයා විසිනි. අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ නඩුව කඩුවෙල අධිකරණයේ කැඳවූ පසුගිය 13 වැනිදා, ලොකු පැටි වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ද මෙම නීතිඥවරයා බව පොලිස් විමර්ශන මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.