the-priest-of-pilimathalawe-who-collected-ditwa-aid-by-mentioning-the-name-of-minister-of-education-chaturanga

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ නම භාවිත කරමින් 'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා බව පවසමින් ආධාර සහ මුදල් එක්රැස් කළ බවට චෝදනා ලැබූ පිළිමතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා විසින් ඇප නියම කර තිබේ. නාරාහේන්පිට මධ්‍යම අපරාධ දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ධම්මාලංකාර නමැති මෙම සැකකාර හිමිනම රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා ඊයේ (26) නියෝග කළේය.




අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය ප්‍රකාශ කර සිටියේ මෙම සැකකරු විසින් සිය ජංගම දුරකථන අංක මෙන්ම වට්ස්ඇප් ගිණුම් උපයෝගී කරගනිමින් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ මුවාවෙන් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. මේ වන විටත් සැකකාර හිමිනමගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් තැන්පත්ව ඇති බව අනාවරණය වී ඇති අතර, මීට අමතරව මොහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් මුදල් වංචාවක් සම්බන්ධ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය පෙන්වා දුන්නේය. එම පැමිණිල්ලට අදාළව සැකකරු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් සහ මෙම සිදුවීමේ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, විත්ති කූඩුවේ සිට අදහස් දැක්වූ සැකකාර හිමිනම තමන් කිසිදු ආකාරයක වංචාවක් සිදු කර නොමැති බව පවසමින් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන්ට අයත් ජංගම දුරකථන සිම්පතක් වෙනත් පුද්ගලයෙකුට ලබා දී තිබූ බවත්, මේ වන විට විදේශගතව සිටින එම පුද්ගලයා විසින් අදාළ මුදල් තමන්ගේ බැංකු ගිණුමට බැර කර ඇති බවත් සැකකරු එහිදී ප්‍රකාශ කළේය. මෙලෙස ඉදිරිපත් වූ දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර හිමිනමට ඇප ලබාදීමට තීරණය කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එළඹෙන ජුනි මස 25 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.