කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ආපනශාලාවක් බිඳ රුපියල් හතළිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් රසකැවිලි, ටොෆි සහ චොකලට් සොරාගත් බව කියන ළමා නිවාසයක දැරියන් තිදෙනෙකු රන්මුතුගල ළමා නිවාසයේ රඳවා තැබීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා විසින් ඉකුත් 25 වැනිදා මෙම නියෝගය ලබා දුන් අතර, මෙලෙස චෝදනා ලබා ඇත්තේ අවුරුදු 15 සහ 16 යන වයස් සීමාවල පසුවන කළුතර ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් තිදෙනෙකි.
පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේදී අදාළ ආපනශාලාවේ වීදුරුවක් බිඳ දමා ඇතුළුවී සැකකාර දැරියන් විසින් මෙම සොරකම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළුතර, සාරානන්ද මාවතේ පදිංචි 33 හැවිරිදි ගුලවිටගේ ගංගා රජිතමාලි නමැති අදාළ ආපනශාලාව පවත්වාගෙන යන කාන්තාව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ලැබුණු පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර දැරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් විසින් සොරාගන්නා ලද භාණ්ඩ තොගයද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ වාර්තාවක් එළඹෙන මාර්තු මස 09 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී වැඩිදුරටත් නියෝග කරනු ලැබීය. කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.