trinco-incident-balangoda-kassapa-thero-and-others-are-back-inside

ත්‍රිකුණාමලය වෙරළ ආශ්‍රිත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන පෙබරවාරි මස 09 වන සඳුදා දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා ඊයේ (02) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමක් සහ දායකයින් පස් දෙනෙකි.




විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සැකකරුවන් වෙනුවෙන් අභියාචනාධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමු කර ඇති බවත් ඊට අදාළ නියෝගය පෙබරවාරි 03 වන දින ලැබීමට නියමිත බවත්ය. එම නියෝගය ලැබුණු වහාම එදින සවස මෝසමක් මාර්ගයෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව කරුණු දැක්වූ නීතිඥවරයා පවසා සිටියේ මෙම සිද්ධියේදී භික්ෂූන් වහන්සේලාට පහර දුන් ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නීතිය හමුවේ සැකකරුවෙකු හෝ සාක්ෂිකරුවෙකු විය යුතු බවයි. එසේ තිබියදී තවමත් පොලිසිය විසින් චෝදනා ගොනු කරමින් නඩුව මෙහෙයවීම විත්ති පාර්ශ්වයට සිදු කරන බලවත් අගතියක් බව හෙතෙම පෙන්වා දුන්නේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 182 වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනු කිරීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත්වරයාට බැවින්, බී වාර්තාවල හෝ විමර්ශන වාර්තාවල සඳහන් නොවන අයුරින් පොලිසිය හිතුමතේ චෝදනා ගොනු කිරීම පිළිගත නොහැකි බවද නීතිඥවරයා තර්ක කළේය.




පොලිසිය විසින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 146 සහ 410 වගන්ති මෙන්ම වෙරළ සංරක්ෂණ පනතේ 28 (1) වගන්තිය යටතේ වුවද, පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර හටගත් ගැටුම මුල් කරගෙන පවතින අමනාපය මත මේ වන විට ද්වේශ සහගතව චෝදනා හතක් ගොනුකර ඇති බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් මහේස්ත්‍රාත්වරයා සතු බලතල අනුව මෙම චෝදනා සලකා බලා සංශෝධනයක් සිදු කරන ලෙසද විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා ඉල්ලීමක් කළේය.

මෙම නඩු විභාගය පැවති අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් අධිකරණය අවට රැස්ව සිටි අතර අධිකරණ භූමිය සහ ඒ අවට මාර්ගවල දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.