court-orders-to-arrest-ratta-and-manuvarna

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’ යන අය අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ වරෙන්තු නිකුත් කළේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ මෙම නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කළ ද, මොවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.




වර්ෂ 2022 ජූලි මස 25 වැනි දින අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔවුනට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම මෙම නඩුවට පාදක වී ඇත. නඩුව කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා සහ රතිදු සේනාරත්න අධිකරණය මග හැර සිටි බැවින් ඔවුන්ට වරෙන්තු නිකුත් කිරීමටත්, ඔවුන්ගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

මේ අතර, පසුගිය නඩු දිනයේදී නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණ නොසිටි තැන්නේ ඥානානන්ද හිමියන් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඒ අනුව උන්වහන්සේව රුපියල් ලක්ෂයක අමතර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.




කෙසේ වෙතත්, මෙම නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, තැම්පිටියේ සුගතානන්ද හිමි සහ සත්‍යවේල් පියතුමා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ තිළිණ වීරසිංහ මහතා අධිකරණයට කරුණු දැක්වීමට කටයුතු කළේය.