ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන ලද පාතාල කල්ලි සාමාජිකයකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
අදාළ පාතාල සාමාජිකයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, එහිදී සැකකරු සමඟ හිටපු අමාත්‍යවරයාගේ පැවති සබඳතා පිළිබඳව විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස කරුණු විමසා සිටි බව වාර්තා වේ.
ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ කෙහෙල්බද්දර පද්මේ යනු තම ගම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ඔහු දේශපාලනික කටයුතු සඳහා තමන් හා සම්බන්ධ වී සිටියේ ද යන්න පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කළ බවත්ය. සැකකරුගේ පියා තමන් සමඟ සමීපව කටයුතු කළ ද සැකකරු සමඟ තමන්ගේ ප්‍රබල සම්බන්ධතාවක් නොමැති බව හිටපු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද අද (03) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.
තවද කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇති නිරූපිකාවන් කිහිප දෙනෙකුගෙන් ද මීට පෙර අවස්ථා ගණනාවකදී විමර්ශන නිලධාරීන් විසින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.