මත්තල අධිවේගී පිවිසුමේදී ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට සහ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස්දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ හම්බන්තොට පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම බස් රථය අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට පොලිසිය අවසරදී නැත්තේ ආසන පටි නොපැවතීම ඇතුළ වැරදි කිහිපයක් පෙන්වා දෙමිනි. මෙයින් කුපිතවූ බස් රථයේ අයෙකු එළියට බැස එතැන කලහ කරන්නට උත්සාහ කරන අතර නීතියට එිස නමන්නට අකමැත්තෙන් කුපිතව ෆේස් බුක් ලයිව් වීඩියෝවකින් ඇවිත් බැණ වදින වීඩියෝවක් කරමින් කියා ඇත්තේ 'පුළුවන් තරම් ෂෙයාර් කරන්න බලන්න මේ බස් එකට යන්න දෙන්නෙ නෑ අනුර පො#යා , ප#යා, කැ#යා මහින්ද හදපු හයිවේ එකට නීති දාලා.. මහින්දගෙ සල්ලි හොරට අරං මේ ආණ්ඩු කරන්නෙ. මුං අපට විතරයි නීති දාන්නෙ බලන්න අනෙක් අයට නෑ නීති..' ආදී වශයෙන්ය. අවස්ථා ගණනාවකදී ජනපතිට බැණවදිමින් නිලධාරීන්ට අපහාස කරමින් මෙම වීඩියෝව ඉදිරිපත් කරන ඔහු පසුව බස් රථයේ සිටි 20 දෙනා සමග අධිවේගී නොවන මාර්ගයේ යන්නට හිත හදාගෙන පිටත්වන අයුරුද වීඩියෝවට නැගී ඇත.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූ සැකකරුවන් අතර බස් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රොෂාන් මදුරංග විජේසිංහ, කටාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිළිණ දිනේෂ් හෙට්ටිආරච්චි, 37 හැවිරිදි කේ. එස්. සුසන්ත, 33 හැවිරිදි ඒ. ටී. මල්ශාන් සහ ජී. එල්. කේ. දර්ශන යන අය ඇතුළත් වේ.
ඉකුත් 16 වනදා මීගමුව ප්‍රදේශයේ පිරිසක් කතරගම වන්දනාවේ ගොස් ආපසු මීගමුව බලා පැමිණෙමින් සිටියදී මත්තල පිවිසුමේදී මෙම සිද්ධිය වාර්තා වී තිබූ අතර, බස් රථයේ ගමන් ගත් පිරිස ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසී ඇත. එම අවස්ථාවේදී බස් රථයෙන් බැසගත් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වෙමින් ජංගම දුරකථනවලින් වීඩියෝ කර, ජනාධිපතිවරයාට සහ පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී කලහකාරී ලෙස හැසිරී එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
සිද්ධියට අදාළ බස් රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි ඉදිරිපස අංක තහඩුව ආවරණය වන පරිදි අනාරක්ෂිත ලෙස සවිකර තිබූ සුදු යකඩ වැටක් ඇතුළු තවත් කාර්මික දෝෂ සහ නීති විරෝධී අංග කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා එය මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරුවන්ගේ මෙම ආවේගශීලී හැසිරීම හමුවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මත්තල පිවිසුමේ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙතත්, අදාළ සැරයන්වරයා සහ කොස්තාපල්වරයා කඩවත සහ කොට්ටාව අධිවේගී මුරපොළවල් වෙතත් මාරු කර යැවීමට පොලිස් උසස් නිලධාරීන් පියවර ගෙන තිබේ.
රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. කේ. සේනාධීර, අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා සහ තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුණ දෙහිගම ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත හම්බන්තොට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජය ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.