maithrie-wickramasinghe-convenes-fcid

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.




අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම මස 20 වන දින එම කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දන්වමින් කොල්ලුපිටිය පොලීසිය මාර්ගයෙන් ඇය වෙත මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම ආන්දෝලනයට තුඩු දුන් බ්‍රිතාන්‍ය සංචාරයකදී කිසියම් මූල්‍ය අපරාධමය වරදක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව කරුණු විමසීම පිණිස ඇයව මෙලෙස කැඳවා ඇත.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.