toronto-police-arrests-sri-lankan-man-who-was-filmed-shouting-at-passers-by-video

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වීදිවල ගමන් කරන පුද්ගලයින්ව ඔවුන්ගේ අවසරයකින් තොරව වීඩියෝ ගත කරමින් සහ අසැබි වචන පවසමින් අනිසි ලෙස හැසිරෙමින් පීඩාවට පත් කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 45 හැවිරිදි මොහොමඩ් අස්කාර් මොහොමඩ්-රසික් නැමැත්තා වන අතර, මොහුට එරෙහිව අපරාධමය හිංසනය සම්බන්ධ චෝදනා හතරක් ගොනු කර ඇත.

පොලිසිය පවසන පරිදි මොහු ටොරොන්ටෝ නගරයේ විවිධ ස්ථානවලදී පුද්ගලයින් වෙත බලහත්කාරයෙන් ළංවෙමින්, ඔවුන්ට දැඩි අපහසුතාවයක් ඇති වන ආකාරයෙන් වීඩියෝ ගත කිරීම් සිදු කර ඇත.




ටොරොන්ටෝ පොලිස් සේවය නිකුත් කළ නිවේදනයකට අනුව, සැකකරු 2025 දෙසැම්බර් 10 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර 2026 පෙබරවාරි 4 වන දින ඔන්ටාරියෝ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. මොහු විසින් සිදු කළ බව කියන සිද්ධීන් කිහිපයක් ද පොලිසිය විසින් අනාවරණය කර ඇත. 2025 මැයි මස 26 වන දින සහ නැවත ඔක්තෝබර් 4 වන දින, රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් නිලධාරිනියක් වෙත පැමිණ ඇයව වීඩියෝ ගත කරමින් ඇයගේ රූපය සහ පෙනුම සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රකාශ සිදු කර ඇති බව වාර්තා වේ. මීට අමතරව 2025 අගෝස්තු මාසයේදී යුනියන් ස්ටේෂන් හි සේවය කරන ප්‍රවාහන සේවකයෙකුගේ මුහුණට ඉතා ආසන්නයෙන් දුරකථනය තබා වීඩියෝ කරමින්, එම සේවකයාගේ ජාතිය අරබයා අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමේ සිද්ධියක් ද මොහුට එරෙහිව ගොනු වී ඇත.

තවද 2025 ජුනි සහ සැප්තැම්බර් මාසවලදී ඩන්ඩස් වීදිය සහ ඩේවිඩ් පෙකෝට් චතුරශ්‍රය අසලදී කාන්තාවන් දෙදෙනෙකුට අවසරයකින් තොරව වීඩියෝ ගත කරමින් කරදර කර ඇති අතර, එය නවත්වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවලදී සැකකරු ඔවුන් සමඟ ගැටුම්කාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි. කැනේඩියානු අපරාධ නීතිය යටතේ අපරාධමය හිංසනය සඳහා වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වරදකි. පොලිසිය සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් පවසා ඇත්තේ මොහුගෙන් පීඩාවට පත් තවත් වින්දිතයින් සිටිය හැකි බවත්, ඔවුන් සිටී නම් වහාම පොලිසිය අමතන ලෙසත්ය.




මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති අදහස් විමසා බැලීමේදී පෙනී යන්නේ බහුතරයක් දෙනා සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ටොරොන්ටෝ පොලිසියට දැඩි ප්‍රසාදය පළ කර ඇති බවයි. බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත්තේ මොහු 'ඉන්ෆ්ලුවෙන්සර්' කෙනෙකු ලෙස හඳුන්වා ගත්තද, ඇත්ත වශයෙන්ම ඔහු මහජනයාට පීඩා කරන පුද්ගලයෙකු බවයි. මොහුගේ හැසිරීම මානසික ආබාධයක් හෝ අවධානය ලබා ගැනීමේ රෝගී තත්ත්වයක් විය හැකි බවට ද සමහරු මත පළ කර තිබේ. විශේෂයෙන්ම කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙම සිදුවීම පිළිබඳව දැඩි කනගාටුව සහ ලැජ්ජාව ප්‍රකාශ කර ඇති අතර, මෙවැනි පුද්ගලයින් නිසා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම අපකීර්තියක් අත්වන බව ඔවුන්ගේ අදහස වී ඇත.

තවද, මෙම සිදුවීම මුල් කරගෙන ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිස් අතර යම් වාග් ප්‍රහාරයන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති අතර, ඇතැම් ඉන්දියානු ජාතිකයින් මෙය ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව විවේචනයක් ලෙස භාවිතා කරද්දී, තවත් පිරිසක් මෙය ආගමික කෝණයකින් ද විග්‍රහ කර තිබේ. කෙසේ වෙතත්, අති බහුතරයකගේ මතය වී ඇත්තේ මොහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත්, වරදකරු වුවහොත් ඔහු කැනඩාවෙන් පිටුවහල් කළ යුතු බවත්ය. වීඩියෝ ගත කිරීම ප්‍රසිද්ධ ස්ථානයක අයිතියක් වුවද, එය හිංසනයක් වන මට්ටමට ගෙන යාම අනුමත කළ නොහැකි බව බොහෝ විචාරකයින් පෙන්වා දී ඇත.

gossiplanka image