a-lorry-transporting-cattle-was-shot-and-the-suspects-arrested

අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොළ ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ 2026.02.09 වන අද දින උදෑසන කාලයේදීය.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවත්වීමට සංඥා කර ඇත.




කෙසේ වෙතත්, ලොරි රථය පොලිස් අණ නොතකා නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර, නිලධාරීන් විසින් එය ලුහුබැඳ ගොස් නැවත්වීමට උත්සාහ කර ඇත. ලොරි රථය තවදුරටත් පළා යාමට උත්සාහ කිරීමේදී, වද්දුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් ලොරි රථයට වෙඩි තබා එය නවතා ගැනීමට සමත් වී ඇත.

පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදී, එම ලොරි රථය තුළ එළ ගවයින් 10 දෙනෙකු සහ මී ගවයින් 04 දෙනෙකු සිටින බව අනාවරණය වී ඇත. ඉන් එක් එළ ගවයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබී ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම වැටලීමේදී ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5200ක් ද සොයාගෙන තිබේ.




අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන අකුරැස්ස සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, ලොරි රථයේ රියදුරු සහ තවත් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.