බොරලැස්ගමුව පරෝපාකාර මාවතේ පිහිටි නිවසක වාසය කරන වයස අවුරුදු 82 සහ 85 යන වයස්වල පසුවන වයෝවෘද්ධ යුවළක් රැකබලා ගැනීම සඳහා පැමිණි උපස්ථාන සේවා ආයතනයක සේවකයෙකු, එම නිවසින් රුපියල් ලක්ෂ දහතුන හමාරකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් සහ මුදල් සොරාගෙන පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රුපියල් දොළොස් දහසක මුදලක් ද සොරකම් කර රත්තනපිටිය ප්‍රදේශයේ සැඟවී සිටියදී ඉකුත් 01 වන දින බොරලැස්ගමුව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හතළිස් එක් හැවිරිදි මෙම පුද්ගලයා පෞද්ගලික උපස්ථාන සේවා ආයතනයක් මාර්ගයෙන් ඉකුත් දෙසැම්බර් මස 03 වන දින අදාළ යුවළට සාත්තු කිරීම සඳහා සේවයට පැමිණ ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරුගේ අතීත තොරතුරු විමර්ශනය කිරීමේදී මොහු මීට පෙර හෙරොයින් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත 11 වතාවක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් 07 වන දින නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, විමර්ශන කටයුතු ආරම්භ කරමින් සැකකරු සොයා ඔහුගේ කොස්ගොඩ පිහිටි නිවස පරීක්ෂා කළද ඒ වන විටත් ඔහු නිවසින් පලාගොස් තිබිණි. මේ අතරතුර පොලීසිය තමා පසුපස හඹා එන බව වටහාගත් සැකකරු, තමන් සොරාගත් රන් භාණ්ඩ සියල්ල නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි කුරියර් සේවා ආයතනයක් හරහා ඉකුත් 24 වන දින ආපසු පැමිණිලිකාරියගේ නිවසටම ලැබීමට සලස්වා තිබූ බවත්, එම භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් දියත් කළ බොරලැස්ගමුව පොලීසිය, රත්තනපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අදාළ සොරකම සිදු කළ බවට පිළිගෙන තිබේ.