රජයේ ඇතැම් අමාත්‍යවරුන් විසින් ආගමික නායකයන් ඉලක්ක කරගනිමින් සහ ඔවුන් පරිභවයට ලක්කරමින් සිදුකරනු ලබන විවිධ ප්‍රකාශ තමන් දැඩිව හෙළා දකින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කර සිටියහ. නිදහස් දිනයට සමගාමීව බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ ඊයේ පැවති කතෝලික ආගමික වතාවත්වලට සහභාගී වෙමින් අගරදගුරුතුමන් මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව යනු බෞද්ධ දර්ශනයේ ආභාසය ලැබූ දීර්ඝ ආගමික ඉතිහාසයක් සහ පසුබිමක් සහිත රටක් බැවින් රටේ පාලකයන් එම ආගමික පැවැත්මට නිසි ගෞරවය දැක්විය යුතු බව කාදිනල්තුමන් පෙන්වා දුන්නේය. එහෙත් වර්තමානයේ රට පාලනය කරන ඇතැම් පුද්ගලයන් මෑතක සිට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට සලකන ආකාරය මෙන්ම රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයන්ට හඬක් නැගීමට අයිතියක් නොමැති ස්වභාවයෙන් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව ද එතුමා සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද රටේ ආගමික පැවැත්මට මුල් තැන ලබා දී තිබියදී, දේශපාලනීකරණය වූ අධ්‍යාපන ක්‍රමවේදයන් හරහා ආත්මාර්ථකාමී සහ අසංවර්ධිත සංස්කෘතියක් ඔස්සේ රට බෙදීමට ලක්වන පසුබිමක් නිර්මාණය වී ඇති බව අගරදගුරුතුමන් සිහිපත් කළේය. රටේ සංස්කෘතියට සහ සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයන් තුළින් රට පාලනය කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, ආගමික චින්තනය රටේ දියුණුවේ මිනුම් දණ්ඩ බවට පත් කරගෙන කටයුතු කිරීම තුළින් මීට වඩා යහපත් රටක් අනාගතයේ නිර්මාණය කරගත හැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියහ.