a-thai-man-who-brought-and-distributed-randils-drugs-in-dubai-was-arrested

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන "රන්දිල්" නැමැත්තාට අයත් රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු සහ දේශීය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.




කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මාසික කුලී පදනම මත ලබාගෙන එහි රැඳී සිටි ප්‍රධාන සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. අදාළ නිවස වටලා සිදුකළ සෝදිසි කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 18ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ජාවාරම සඳහා භාවිත කළ යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඩුබායිහි සිටින රන්දිල් නැමැත්තා විසින් අත්අඩංගුවට පත් 32 හැවිරිදි තායිලන්ත ජාතිකයා මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි. කඩවත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි විදේශිකයා විසින් රැගෙන ආ හෙරොයින් තොගය කිරිබත්ගොඩ සිටි සැකකරු වෙත ලබා දී ඇති අතර, ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිට රන්දිල්ගේ උපදෙස් පරිදි විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය තබමින් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.




පසුගිය 3 වනදා රාත්‍රියේ දේශීය ජාවාරම්කරු අත්අඩංගුවට පත්වීමත් සමඟ ඩුබායිහි සිටින රන්දිල් විසින් දුරකථන මාර්ගයෙන් තායිලන්ත ජාතිකයා අමතා වහාම එම ස්ථානයෙන් පළා යන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව විදේශිකයා කඩවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් සීදුව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.