the-united-national-party-is-on-a-new-path-for-smart-politics-for-the-new-world

අනාගතය වෙනුවෙන් රටේ නිදහස මෙන්ම බහු පක්ෂ ක්‍රමවේදය ද එක ලෙස ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හෙතෙම මෙම අදහස් පළ කළේ පසුගිය තෙවැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති “Smart UNP-2026” වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පක්ෂය නවීන තාක්ෂණය සමඟ මුසු කිරීමේ අරමුණින් සිරිකොත මූලස්ථානය වෙත ‘Starlink’ අන්තර්ජාල සේවාව නිල වශයෙන් හඳුන්වා දීම ද මෙහිදී සිදු කෙරිණි.




නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ දූරදර්ශී නායකත්වය සහ එතැන් පටන් වසර 78ක් පුරා රට ගොඩනැගීමට දායක වූ සියලු නායකයින් අගය කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ මධ්‍ය මහා විද්‍යාල 50 අද වන විට 1,400 දක්වා වර්ධනය වී ඇති අතර, එදා පැවති එකම විශ්වවිද්‍යාලය වෙනුවට අද රජයේ විශ්වවිද්‍යාල 19ක් සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 27ක් බිහිවී ඇත. එමෙන්ම රෝහල් පහසුකම් 550 ඉක්මවා ඇති අතර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ද හැකි වී තිබේ. මෙම දියුණුව ළඟා කර ගැනීමට හැකි වූයේ නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම තුළින් බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, සියලු බලවේග ඒ වෙනුවෙන් එක් විය යුතු බව ප්‍රකාශ කළේය.

2022 වසරේදී බිඳ වැටුණු ආර්ථිකය භාරගෙන රට තුළ යළි ස්ථාවරත්වයක් ඇති කිරීමට තමන් කටයුතු කළ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, වර්තමානය වන විට අප ජීවත් වන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් පිරි සමාජයක බව සඳහන් කළේය. ඩිජිටල් යුගයේ උපන් පරම්පරාව හෙවත් ‘Gen Z’ සහ යුද්ධයෙන් පසු උපන් ‘Gen Beta’ පරම්පරාව වෙත රටේ සහ පක්ෂයේ අනාගතය භාර දිය යුතු කාලය එළැඹ ඇති බවත්, ජංගම දුරකථනය සහ පරිගණකය සමඟ වැඩෙන මෙම පරම්පරාව සමඟ ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු කියා සිටියේය. හිටපු අගමැතිවරයා ‘බේබි බූමර්ස්’ පරම්පරාව වෙනුවෙන් ද ජේ.ආර්. ජයවර්ධන මහතා ‘මිලේනියම්’ පරම්පරාව වෙනුවෙන් ද රට සූදානම් කළ පරිදි, වත්මන් එක්සත් ජාතික පක්ෂය ‘Gen Beta’ පරම්පරාව වෙනුවෙන් සූදානම් විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.




අද අප ජීවත් වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ යුගයේ නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලෝකයේ බවත්, චීනයේ අභියෝග සහ ඉන්දියාව බලවතෙකු ලෙස නැගී සිටින වටපිටාවක එම යථාර්ථයට මුහුණ දිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මවන ලද ලෝකය හෙවත් අතථ්‍ය යථාර්ථය (Virtual Reality) වැනි නව තාක්ෂණයන් වැළඳ ගනිමින් දේශපාලනයේ ‘New Vibe’ එකකට අනුගත විය යුතු බවත්, ඒ සඳහා ඩිජිටල් පක්ෂයක් ලෙස ගොඩනැගෙන “Smart UNP” හා එක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. මෙම නව වැඩපිළිවෙළ යටතේ පක්ෂය තුළ ‘ඩිජිටල් පරිපාලක’ සහ ‘ඩිජිටල් සංවිධායක’ යනුවෙන් නව තනතුරු ඇති කිරීමට නියමිත අතර, Starlink තාක්ෂණය හරහා සිරිකොත මූලස්ථානයට Wi-Fi පහසුකම් සහ ඩිජිටල් සාමාජික කාඩ්පත් හඳුන්වා දීමට ද කටයුතු කෙරෙනු ඇත.

gossiplanka image
gossiplanka image