ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිටම විශාල සැදැහැවතුන් පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත එක්රොක් වෙමින් සිටින බව වාර්තා වේ.
ඉන්දියාවෙන් පිටතට මෙම ධාතූන් වහන්සේලා වැඩම කරවූ පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා එම දුර්ලභ අවස්ථාව උදා කර දෙමින් ඊයේ (04) දිනයේදී ධාතූන් වහන්සේලා දිවයිනට වැඩම කරවා ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබීය.
මෙම ඓතිහාසික පුණ්‍ය අවස්ථාවට සහභාගී වී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ සියැසින් දැක බලා ගැනීමට දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් විහාරස්ථානය වෙත ඇදී එමින් සිටින අතර, අද දින සිට ලබන පෙබරවාරි 11 වනදා පෙරවරු 07.00 දක්වා දිවා රාත්‍රී දෙකෙහිම පැය 24 පුරාම වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව සලසා දී තිබේ.
විහාරස්ථානයට පැමිණෙන විශාල ජනකායක් හේතුවෙන් ගංගාරාමය සහ ඒ අවට ප්‍රදේශය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක දන්සැලක් ද සංවිධානය කර ඇත.
වන්දනාවේ පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් පුළුල් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.
විහාරස්ථානය අවට රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් මාර්ග කිහිපයක් වසා තැබීමට කටයුතු යොදා ඇති නමුත්, වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ රථ වාහන ගාල් කිරීම සඳහා ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන රථගාල් කිහිපයක් ද සූදානම් කර ඇත.

