the-display-of-military-equipment-is-not-in-the-independence-festival-today

“ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරි කරගත් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ආරාධිත අමුත්තන් අසුන් ගැනීමෙන් පසුව සම්මාන මුරය උත්සව භූමිය වෙත ගමන් කිරීමත් සමඟ උළෙලේ කටයුතු ආරම්භ විය.




පෙරවරු 8.00 ට උත්සව භූමියට සපැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් සිදු කරන ලදී. අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයාව ප්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙන යන ලද අතර, මඟුල් බෙර සහ ජය සක් හඬ මධ්‍යයේ පෙරවරු 8.04 ට යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලැබීය.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු දරු දැරියන් 44 දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කරන ලදී. මෙම ගායනය සඳහා රත්මලාන අන්ධ විද්‍යාලය, අනුරුද්ධ බාලිකා විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ආරක්ෂක සේවා විද්‍යාලය, ඩිලාසාල් විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලය, වේළුවන විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ හින්දු විද්‍යාලය යන විද්‍යාලවල සිසුහු එක්ව සිටියහ.




ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමෙන් පසුව දේවි බාලිකා, විශාකා සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන විද්‍යාලවල සිසුවියන් 16 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කරනු ලැබීය. ඉන්පසුව මාතෘ භූමියේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කළ අතර, අනතුරුව ජනාධිපතිවරයා විසින් ජාතිය අමතන ලදී.

ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දක්වමින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකාය එක්ව පැවැත්වූ සම්මාන පෙළපාළිය සඳහා මෙවර සෙබළුන් 4,602 ක් සහභාගී වී සිටියහ. මෙවර ආචාර පෙළපාළියේදී යුද උපකරණ ප්‍රදර්ශනයක් සිදු නොකෙරුණු අතර ඊට එක් කර තිබුණේ සන්නද්ධ රථ හතරක් පමණි.



නිදහස් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ මධ්‍යහ්න 12.00 ට ගාලු මුවදොර පිටියේදී ජාතිය වෙනුවෙන් ආචාර වෙඩි මුර විසිපහක් පිරිනැමීම ද සිදු කෙරිණි. උත්සව භූමියේ පැවති සංස්කෘතික සංදර්ශනයෙන් පසුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමත් සමඟ 78 වැනි ජාතික නිදහස් උළෙලේ වැඩකටයුතු නිමාවට පත් විය.