ඉතාලියේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයකුට ලිංගික අතවර චෝදනා එල්ල වී ඇතැයි එරට Il Messaggero පුවත් සේවය වාර්තා කරයි. 57 හැවිරිදි ප්‍රභාත් එක්නැලිගොඩ නමැති ඔහු ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන මාරියා හස් පාස්ගේ සහකරු බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
රෝමයේ ස්පිනාසෙටෝ (Spinaceto) ක්‍රීඩාංගණයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ප්‍රභාත් එක්නැලිගොඩ ට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා මත රෝම නීති බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට කරන ලද බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මෙය හුදකලා සිදුවීමක් නොවන බවටද සැක මතු වී ඇත.
ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ ඔහු සතුව ඇති බලය සහ අභිමතය හේතුවෙන් බොහෝ ක්‍රීඩිකාවන් ඔහුට දැඩි ලෙස බියක් දක්වා ඇත. තම ක්‍රීඩා දිවිය විනාශ වනු ඇතැයි යන බිය නිසා බොහෝ පිරිසක් මෙම අපයෝජනයන් පිළිබඳව නිහඬව සිට ඇති බව වින්දිත ක්‍රීඩිකාවකගේ පැමිණිල්ලේ සඳහන් වේ. තමාට අවනත නොවන ඕනෑම ක්‍රීඩිකාවකගේ අනාගතය අඳුරු කිරීමට තරම් බලපෑමක් ඔහුගේ සබඳතා ජාලය හරහා ඔහු සතුව තිබූ බව එම පැමිණිල්ල වැඩිදුරටත් අවධාරණය කරයි.
ඉතාලි කාන්තා ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම වෙනුවෙන් ඔහු වැඩිහිටි ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමඟ ලිංගික සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. මෙම ක්‍රියාවන් පිළිබඳව දැනගත් තවත් ක්‍රීඩිකාවක් ඔහුට විරුද්ධව කතා කිරීමට තරම් ධෛර්ය සම්පන්න වී ඇත. කෙසේ වෙතත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයව ජාතික කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, මෙම කරුණු කිසිවෙකුට හෝ හෙළි නොකරන ලෙසට සැකකාර පුහුණුකරු විසින් ඇයට දැඩි ලෙස තර්ජනය කර තිබේ.
මෙම පුහුණුකරුගේ අශෝභන හැසිරීම් වැඩිහිටි ක්‍රීඩිකාවන්ට පමණක් සීමා වී නොමැත. ක්‍රීඩා කිරීමේදී සිදුවන ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා සම්බාහනය කරන මුවාවෙන් ඔහු බාලවයස්කාර දැරියන් කිහිප දෙනෙකුව ක්‍රීඩාංගණයේ තිබූ කන්ටේනරයක් වෙත රැගෙන ගොස් අතවර කර ඇති බවටද බරපතල චෝදනා එල්ල වී ඇත. දැඩි මානසික පීඩනයක් යොදමින්, ලිංගික අල්ලස් ඉල්ලා සිටීම සහ පූර්ණ යටත් වීමක් බලාපොරොත්තු වීම හරහා ඔහු තමන් ඇතුළු බොහෝ ක්‍රීඩිකාවන්ව දැඩි භීතියකට සහ මානසික කඩාවැටීමකට ලක් කර ඇති බව පැමිණිලිකාරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.