2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 76ක අතිදැවැන්ත පරාජයක් අත්විඳීමට ඉන්දීය කණ්ඩායමට සිදුවිය. අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් වන අතර, මෙය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව ලැබූ දරුණුතම පරාජය ලෙස සටහන් වේ.
ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ (නොදැවී 44) ප්‍රවේගකාරී පිතිකරණය හරහා දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 187ක ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.ඉන්දීය ඉනිමේ ආරම්භයම අසාර්ථක කරමින් ඉෂාන් කිෂාන් පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගිය අතර, තිලක් වර්මා ද අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වීම නිසා පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඉන්දියාව කඩුලු 3කට ලකුණු 31ක් ලෙස අසීරු තත්ත්වයක පසුවිය. නායක සූර්යකුමාර් යාදව් ලකුණු 18කටත්, අභිෂේක් ෂර්මා ලකුණු 15කටත් දැවී ගිය අතර, ඔවුන්ට සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. ලකුණු 22කට කඩුලු 4ක් දවාගත් මාකෝ ජැන්සන් දකුණු අප්‍රිකානු පන්දු යැවීමේ බලඇණියට නායකත්වය ලබා දුන් අතර, කෝබින් බොෂ් සහ කේෂව් මහාරාජ් ඔහුට අනගි සහයක් ලබා දෙමින් ඉන්දීය ඉනිම සුනුවිසුනු කර දැමූහ.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්, විශේෂයෙන්ම පවර්ප්ලේ අවස්ථාවේදී ඔවුන්ගේ පිතිකරණයේ දුර්වලතා මෙම පරාජයට ප්‍රධාන හේතුව වූ බව පිළිගත්තද, කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය තවදුරටත් ආරක්ෂා කරමින් අදහස් දැක්වීය. මෙම පරාජයත් සමඟින් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව අඛණ්ඩව ලබා තිබූ තරග 12ක ජයග්‍රාහී වාර්තාවද බිඳ වැටුණි. මෙනිසා, අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා මීළඟට පැවැත්වෙන සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ වන සුපිරි 8 වටයේ තරග අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්ත්වයකට ඉන්දියාව දැන් පත්ව සිටී.
මෙම අනපේක්ෂිත පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් සමාජ මාධ්‍ය හරහා කණ්ඩායමට දැඩි විවේචන එල්ල කරමින් සිටින අතර, මෙය කිසිසේත්ම පිළිගත නොහැකි මට්ටමේ පරාජයක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ප්‍රධාන තරගවලදී ඉන්දියාවේ සාමාන්‍ය පිතිකරණ රටාව අසාර්ථක වීම සම්බන්ධයෙන් නායක සූර්යකුමාර් යාදව්ට මෙන්ම කළමනාකාරීත්වයටද චෝදනා එල්ල වන අතර, ගෞතම් ගාම්භීර්ගේ පුහුණුකාරීත්වය යටතේ ජාතික කණ්ඩායම අයි.පී.එල්. ෆ්‍රැන්චයිස් කණ්ඩායමක් ලෙස මෙහෙයවනු ලබන බවටද ඇතැම්හු චෝදනා කරති. රෝහිත් ෂර්මාගේ සමුගැනීමෙන් පසු කණ්ඩායමේ නායකත්වයේ හිඩැස මැනවින් දිස්වන බව බොහෝ ප්‍රේක්ෂකයෝ පෙන්වා දෙති.
පරාජයෙන් කෝපයට පත් ප්‍රේක්ෂකයින් සහ විරුද්ධ කණ්ඩායම්වල රසිකයින් එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය කණ්ඩායම උපහාසයට ලක් කරමින් විවිධ මීම්ස් හුවමාරු කරගැනීමද මේ වන විට දැකගත හැකිය. නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ඉන්දියාවට අවාසනාව ගෙන දෙන පනෝති ක්‍රීඩාංගණයක් ලෙසත්, කහ පැහැති ජර්සි පැළඳි කණ්ඩායම් හමුවේ අඛණ්ඩව පරාජය වීම කහ ජර්සියේ කර්මය ලෙසත් හඳුන්වමින් ඔවුන්ව දැඩි ලෙස උපහාසයට ලක් කර ඇත. එසේම, සංජු සැම්සන් පිටියෙන් පිටත සිට මෙම කඩා වැටීම දෙස බලා සිටින අයුරු දැක්වෙන මීම්ස් සහ අභිෂේක් ෂර්මා, තිලක් වර්මා ඇතුළු මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වලතා විවේචනය කරන පෝස්ට් ද සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රිය වී තිබේ. විදෙස් රසිකයින් ද ලෝක කුසලානය දිනීමට ප්‍රියතමයන් ලෙස සිටි ඉන්දියාව ලකුණු 111කට දැවී යාම දැඩි ලෙස සමච්චලයට ලක් කර ඇත.



