මීගමුව ගල්කන්ද මංසන්ධියේ පවත්වාගෙන ගිය 'Mr. කොත්තු' ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට මීගමුව මහාධිකරණය විසින් (12) නියෝග කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ආපනශාලාවේ මුළුතැන්ගෙයින් ඉවතලන අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මාර්ගයෙන් මහජනතාව ගමන් කරන පාරට මුදාහැරීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සුරංග මහතා විසින් පවරන ලද නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය. මීට පෙර ඉකුත් 22 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දින 14ක් ඇතුළත ආපනශාලාවේ පවතින සියලු අඩුපාඩු නිසි පරිදි සකස් කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණද, එම නියෝගය නිසි ලෙස පිළිපැද නොමැති වීම හේතුවෙන් අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇත.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මීට පෙර සිදුකළ ස්ථානීය පරීක්ෂාවකදී අදාළ අපජලය ගලියක් හරහා ඉවත් කිරීමට ආයතන පාර්ශ්වය උත්සාහ කර තිබුණද, ප්‍රදේශවාසීන් විසින් සපයන ලද වීඩියෝ සාක්ෂි මගින් සත්‍ය තත්ත්වය තහවුරු වී තිබේ. මෙම සිදුවීමට අදාළව ප්‍රදේශවාසීන් විසින් ද වෙනම නඩු පැවරීමට සූදානම් වන බවට වාර්තා වන අතර, කොත්තු ආපනශාලාවට එරෙහි මෙම නඩුව ජනවාරි 08 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.
මෙම ආපනශාලා ජාලය සම්බන්ධයෙන් සනීපාරක්ෂක ගැටලු මතු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, 2025 වසරේ ජූලි මාසයේදී ද රාජගිරියේ කෝට්ටේ පාරේ පිහිටි 'Mr. කොත්තු ග්‍රෑන්ඩ්' ආයතනයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ඒ. එල්. ආර්. කරුණාරත්න මහතා විසින් මලිදුව දුරගේ දිනේෂ් ප්‍රියකාන්ත නමැති විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ ආහාර සකස් කිරීමට අපිරිසිදු උපකරණ භාවිතය, බිත්ති සහ ගෙබිම අපිරිසිදු වීම, කසළ බඳුන් වසා නොතිබීම සහ විදුලි බුබුළු ආවරණය නොකිරීම ඇතුළු චෝදනා 8ක් යටතේය.
මීට අමතරව 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී මහරගම පිහිටි 'Mr. කොත්තු ග්‍රෑන්ඩ්' ශාඛාවකින් ඇණවුම් කර ගෙන්වා ගත් කොත්තුවක පණුවෙකු සිටි බවට ද පුවතක් වාර්තා විය. නුගේගොඩ පිහිටි VANNi Architecture Studio ආයතනයේ හිමිකරු වන නදුන් ගුණවර්ධන මහතා විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා සමාජයට අනාවරණය කර තිබුණි.
මේ අතර, මෙම ආපනශාලා ජාලය සහ එහි හිමිකරු වන 'විරාජ්' නමැත්තා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. 'බඩජාරි සංසදය' නමැති ෆේස්බුක් සමූහයේ ශෂී ද සිල්වා නමැත්තියක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, 'Mr. කොත්තු' ආයතනය පාරිභෝගිකයින්ගෙන් අධික මුදලක් අය කරන බවත්, ඔවුන් දේශපාලන බලපෑම් සහ කළු සල්ලි භාවිත කරන බවත්ය. අදාළ ආයතනයේ මැදිහත්වීමෙන් පොලිසිය හරහා විමුක්ති නමැති අයෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් මෑතකදී විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර පොලිසියට ද දැඩි ලෙස අවවාද කර ඇති බව ඇය පවසයි.
තමන්ට අන්තර්ජාලය ඔස්සේ අපහාස කිරීම සහ හිරිහැර කිරීම සම්බන්ධයෙන් ආයතන හිමිකරුට එරෙහිව ඉදිරියේදී වන්දි නඩුවක් ගොනු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටු සාමාජිකයින් හා සමීප ඇසුරක් පැවැත්වූ මිස්ටර් කොත්තු හිමිකරු සම්බන්ධයෙන් විවිධ චෝදනා වරින්වර ගොනුවී තිබුණි. ඔහු දේශපාලන සබඳතා හරහා ව්‍යාපාර වර්ධනය කරගත් අයෙකු බවට කළු සල්ලි සුදුකරන්නෙකු බවට අදහස් පළව තිබුණත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. සිංගප්පූරුවේ පවා මිස්ටර් කොත්තු ශාඛාවක් විවෘත කර තිබෙන පසුබිමක මෙම අවලාද නගන්නේ ව්‍යාපාරික එදිරිවාදිකම් කරන්නන් බවට ඇතැමුන් තර්ක කර තිබේ.
එම චෝදනාවලට ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වමින් 'හොරිගම්පිටියා' නමැති සමාජ මාධ්‍ය ගිණුමකින් ද පෙන්වා දී ඇත්තේ අදාළ ආපනශාලාවේ චීස් කොත්තුව ඉතා රසවත් බවයි. ආයතන හිමිකරු වන විරාජ් විසින් කොත්තුව ලෝකය පුරා ජනප්‍රිය සන්නාමයක් බවට පත් කර ඇති බවත්, ඇතැම් පිරිස් මුදල් ලබාගෙන මෙම සන්නාමයට හිතාමතාම මඩ ප්‍රචාරයන් දියත් කරන බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.