මත්තේගොඩ, මාගම්මන සමගි මාවත ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි කුඩා දැරියක් කෲර ලෙස පහරකෑමකට ලක්ව මියයාමේ ඛේදවාචකයක් සම්බන්ධයෙන් ඇයගේ මව මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිසියම් ආසාත්මිකතාවයක් ඇති වූ බව පවසමින් අදාළ දැරියව මව විසින් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත්, පසුව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය හුදෙක් රෝගී තත්ත්වයක් නොව, අමානුෂික පහරදීමක් හේතුවෙන් සිදුවූ ඝාතනයක් බවට තහවුරු වී තිබේ.පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති ආකාරයට මෙම අපරාධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, දැරිය විසින් මවගේ නව අනියම් සැමියාට 'පියා' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. අත්අඩංගුවට පත් කාන්තාව සිය නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව මාස තුනක පමණ කාලයක සිට කුලී රථ රියදුරෙකු සමඟ මෙලෙස එකම නිවසක ජීවත් වෙමින් සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. මෙම කාල සීමාව තුළදී මව සහ අදාළ පුද්ගලයා යන දෙදෙනාම එක්ව මෙම කුඩා දැරියට විවිධාකාරයෙන් වද හිංසා පමුණුවා ඇති බවට ඡායාරූප ඇතුළු ප්‍රබල සාක්ෂි පොලිසිය වෙත මේ වන විටත් ලැබී තිබේ.
මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී අභ්‍යන්තර මෙන්ම බාහිර තුවාල හැත්තෑ පහකට අධික ප්‍රමාණයක් පවතින බව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඇත. දරුවාට පහර දෙන අවස්ථාවලදී මව විසින් දැරියව අමානුෂික ලෙස සොලවා බිම ගසා ඇති බවත්, ඊට අමතරව අතින් පයින් මෙන්ම වෙනත් විවිධ උපකරණ ද භාවිත කරමින් දරුණු ලෙස පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් වැඩිදුරටත් කරුණු හෙළිදරව් කරගෙන තිබේ.
මෙම සාහසික ඝාතනයට සෘජුවම සම්බන්ධ අනෙක් ප්‍රධාන සැකකරු වන මවගේ අනියම් සැමියා මේ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියි. ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.