
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56 කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති පසුබිමක, රජය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වසර තුනක දිගුකාලීන සැලැස්ම හරහා විදුලි ගාස්තු අඩු කරන බවත්, මෙවැනි මිල ඉහළ යාම් තාවකාලික තත්ත්වයන් බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ. විදුලි ජනන පිරිවැය පියවා ගැනීමේ ක්‍රමවේදයකට අනුව මෙම ගාස්තු තීරණය වන බවත්, අඩු ආදායම්ලාභී පවුල් සහ ආගමික ස්ථාන වැනි විශේෂ කාණ්ඩ සඳහා ජනන පිරිවැයටත් වඩා අඩු සහනදායී ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම නව යෝජනාවට අනුව, එළඹෙන අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාලය සඳහා මෙම ගාස්තු සංශෝධනය ඉල්ලා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයන් සඳහා රුපියල් කෝටි 150 ක පමණ පාරිතෝෂිත දීමනාවක් ගෙවීමට සිදුවීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත. තවද, රන්දෙණිගල, වික්ටෝරියා සහ සමනල යන ප්‍රධාන ජල විදුලි බලාගාරවල නඩත්තු කටයුතු හේතුවෙන් සති කිහිපයක් ඒවායේ මෙහෙයුම් නතර කිරීමට සිදුවන බැවින්, අදාළ කාලය තුළ ඉහළ පිරිවැයක් දරා ඉන්ධන බලාගාර මගින් විදුලිය මිලදී ගැනීමට සිදුවීම සහ සම්ප්‍රේෂණ වියදම් ඉහළ යාම මෙම ගාස්තු වැඩිවීමට බලපා ඇති අනෙකුත් සාධක වේ.
නව යෝජනාවට අනුව විදුලි ඒකකයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත. ඒ යටතේ ඒකක 0-30 කාණ්ඩය සඳහා දැනට අය කරන රුපියල් 4.50 ක මුදල රුපියල් 5.11 දක්වාත්, ඒකක 31-60 කාණ්ඩය සඳහා රුපියල් 8.00 ක්ව පවතින ගාස්තුව රුපියල් 9.08 දක්වාත් වැඩි කිරීමට නියමිතය. ඒකක 61-90 අතර භාවිතය සඳහා රුපියල් 18.50 ක්වූ ඒකකයක මිල රුපියල් 21.01 දක්වා ද, ඒකක 91-120 අතර භාවිතය සඳහා රුපියල් 24 ක ගාස්තුව රුපියල් 27.25 දක්වා ද ඉහළ නැංවීමට යෝජිතය. මීට අමතරව ඒකක 121-180 කාණ්ඩය සඳහා රුපියල් 41 සිට රුපියල් 46.56 දක්වාත්, ඒකක 181 ට වැඩි කාණ්ඩය සඳහා රුපියල් 61 සිට රුපියල් 69.27 දක්වාත් ඒකකයක මිල ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත.
පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයට අමතරව පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන මාසික ස්ථාවර ගාස්තුව ද මෙම යෝජනාව හරහා ඉහළ දැමීමට සැලසුම් කර තිබේ. ඒකක 0-30 කාණ්ඩයේ පාරිභෝගිකයන් සඳහා රුපියල් 80 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 90.85 දක්වා ද, ඒකක 31-60 කාණ්ඩය සඳහා රුපියල් 210 සිට රුපියල් 238.48 දක්වා ද වැඩි කෙරෙනු ඇත. ඒකක 61-90 කාණ්ඩය සඳහා එය රුපියල් 400 සිට රුපියල් 454.24 දක්වා ඉහළ යාමට නියමිත අතර, ඒකක 91-120 කාණ්ඩය වෙනුවෙන් රුපියල් 1,000 ක්වූ ස්ථාවර ගාස්තුව රුපියල් 1135.60 ක් දක්වා ඉහළ යනු ඇත. ඒකක 121-180 අතර කාණ්ඩයට රුපියල් 1500 වෙනුවට රුපියල් 1703.40 ක් ද, ඒකක 181 ට වැඩි කාණ්ඩයට රුපියල් 2100 වෙනුවට රුපියල් 2384.76 ක් ද ලෙස ස්ථාවර ගාස්තු සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.
මෙම ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, කොමිෂන් සභා පනතට අනුව මෙම කරුණු පිළිබඳව පුළුල් ලෙස සලකා බලන බවයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය එළඹෙන මාර්තු මාසයේ අවසන් සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මීට පෙර, මේ වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාව ද තාක්ෂණික ගැටලු පදනම් කරගනිමින් මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.