the-gas-shortage-is-not-over-yet

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟය ඊයේ (26) දිනයේ ද උග්‍රව පැවති බව ගෑස් පාරිභෝගිකයන් වාර්තා කරයි. කෙසේ වෙතත්, කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට වරින්වර ලිට්‍රෝ ගෑස් සිලින්ඩර තොග ලැබීම හේතුවෙන් ගෑස් හිඟය යම් ප්‍රමාණයකට සමනය වී ඇති බව ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති.




ඊයේ (26) දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වර්තමාන තත්ත්වය හමුවේ දිනකට අමතරව ගෑස් මෙට්‍රික් ටොන් 500ක් නිකුත් කිරීමට තම සමාගම පියවර ගෙන ඇති බවයි. මේ අනුව, සාමාන්‍යයෙන් දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 1,200ක් නිකුත් කරනවා වෙනුවට, ගෘහස්ථ ගෑස් සිලින්ඩර 150,000ක් ඇතුළුව දිනකට මුළු මෙට්‍රික් ටොන් 1,700ක ප්‍රමාණයක් දැන් වෙළඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා පැහැදිලි කළේය.

පෙබරවාරි මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක් ආනයනය කළ ලිට්‍රෝ සමාගම, ලාෆ් ගෑස් හිඟය හේතුවෙන් මාර්තු මාසය සඳහා ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,000ක් දක්වා ඉහළ දැමූ බව ද චන්න ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලාෆ් ගෑස් භාවිතා කළ කර්මාන්තවලට පවා ලිට්‍රෝ ගෑස් සැපයීමට සිදුව ඇති බවත්, ගෑස් නොමැතිකම හේතුවෙන් එම කර්මාන්ත අකර්මණ්‍ය වීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක් ඉදිරි දින දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බැවින්, පවතින ගෑස් හිඟයට යම් සහනයක් අපේක්ෂා කළ හැකි බව චන්න ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව, ලබන සතිය ආරම්භය වනවිට ගෑස් හිඟය බොහෝ දුරට සමනය වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.