කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ මන්ත්‍රිනී මොහමඩ් බුහාරි ෆාතිමා සොහාරා මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කර ඇති බවට කොළඹ මහ නගර සභාවේ තේරීම් භාර නිලධාරී පියුමි ආටිගල මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ අයවැය සම්මත කිරීම සඳහා පැවති දෙවැනි ඡන්ද විමසීමේදී ඇය ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙනි.
එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සොහාරා බුහාරි මහත්මියගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ සාමාජිකත්වය අවසන් කර ඇති බැවින්, ඇය එම සභාවේ සිය සභික ධූරය අතහැර ඇති බවයි.
අයවැය ඡන්ද විමසීමේ දී පක්ෂය දුන් උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඇයට විරුද්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ ලේකම්, ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා විනය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.