actions-to-be-taken-will-be-notified-if-the-mobile-phone-is-lost

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින්, ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී මහජනතාව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කර තිබේ.




අස්ථානගත වූ ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පළමු පියවර ලෙස, සිම්පත අක්‍රීය කිරීම අත්‍යවශ්‍ය වේ. සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රීය කිරීම සිදුකළ හැක. සිම්පත අක්‍රීය කිරීමෙන්, තෙවන පාර්ශ්වයකට අස්ථානගත වූ දුරකථනය නීතිවිරෝධී, සමාජ විරෝධී හෝ අනීතික කටයුතු සඳහා භාවිත කිරීමේ අවස්ථාව අහිමි වන අතර, දුරකථනය නැවත සොයා ගැනීමද පහසු වනු ඇත.

ජංගම දුරකථනයක් නැති වූ විට හෝ සොරකමට ලක් වූ විට, ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී එහි IMEI (International Mobile Equipment Identity) අංකය සඳහන් කිරීම අතිශයින් වැදගත් කරුණකි.




දුරකථනය අස්ථානගත වීමට හෝ සොරකම් වීමට පෙර, එහි IMEI අංකය ඇතුළු සියලු සේවා විස්තර ආරක්ෂිතව තබා ගැනීම අදාළ හිමිකරුගේ වගකීමක් බව පොලීසිය පෙන්වා දෙයි. ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගැනීම සඳහා *#06# යන කෙටි යෙදුම භාවිත කළ හැක.

තවද, ශ්‍රී ලංකා පොලීසිය මඟින් මෘදුකාංගයක් ආධාරයෙන් ජංගම දුරකථන සොයා ගැනීමේ නව ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇත. මේ සඳහා ineed.police.lk යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.