කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් කඩිනමින් අවසන් කර දීමට සහාය වන බව පවසමින්, ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් කාන්තාවක වරකාපොළ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙත රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. වරකාපොළ පොලිසියට අනුයුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු එරෙහිව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, අදාළ කාන්තාව විසින් පසුගිය 05 වනදා සිදු කළ පැමිණිල්ලකට අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
පැමිණිලිකාර කාන්තාවගේ දියණියකට 2021 වසරේදී සිදුවූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධ නඩුවක් මේ වන විට කෑගල්ල මහාධිකරණය හමුවේ විභාග වන අතර, චෝදනාවට ලක්ව සිටින උපපොලිස් පරීක්ෂකවරයා එම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ද කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි. අදාළ නඩුව ඉක්මනින් විභාග කර අවසන් කර දීමට කැමැත්ත විමසා ඇති මෙම නිලධාරියා, ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමට යැයි පවසමින් අදාළ කාන්තාවට තනිවම පැමිණ තමා හමුවන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
අනතුරුව අදාළ කාන්තාවගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇති සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා, අවස්ථා ගණනාවකදීම ඇයට ඇමතුම් ලබා දෙමින් තමා තනිවම හමුවීමට පැමිණෙන ලෙස දැඩි ලෙස බලපෑම් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය. මෙම බලපෑම් හමුවේ උපායශීලීව කටයුතු කර ඇති කාන්තාව, තම ඥාති සොහොයුරකු සමඟ වෑන් රථයකින් වරකාපොළ නගරයට පැමිණ, තමන් බස් රථයකින් තනිවම පැමිණි බව අඟවමින් සැකකාර නිලධාරියා හමුවීමට ගොස් ඇත.
යතුරුපැදියකින් පැමිණ සිටි උපපොලිස් පරීක්ෂකවරයා ඇයට යතුරුපැදියට ගොඩවන ලෙස ඉල්ලීම් කර ඇති අතර, කාන්තාව මුලින් එය ප්‍රතික්ෂේප කළ ද දිගින් දිගටම කළ ඉල්ලීම මත ඊට එකඟ වී තිබේ. අනතුරුව ඔහු ඇයව හෝටලයක් වෙත කැඳවාගෙන ගොස් ඇති අතර, කාන්තාවගේ ඥාති සොහොයුරා වෑන් රථයෙන් රහසිගතව ඔවුන් පසුපස හඹා ගොස් ඇත. හෝටලයට පැමිණි පසු "ඔයාගේ මහත්තයා නැහැනේ, ඔයාට හොඳ සැපක් දෙන්නම්" යැයි පවසමින් හෝටල් කාමරයකට යාමට නිලධාරියා ඇයට ආරාධනා කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී වෑන් රථයෙන් ඔවුන් පසුපස පැමිණි කාන්තාවගේ ඥාති සොහොයුරා වහාම එම ස්ථානයට පැමිණ උපපොලිස් පරීක්ෂකවරයාට බැණ වැදී ඔහුව එම ස්ථානයෙන් පන්නා දමා ඇති බව පොලිසිය පවසයි. සිද්ධියත් සමඟ උපපොලිස් පරීක්ෂකවරයා තම යතුරුපැදියේ නැගී පලා ගොස් ඇති අතර, පසුව කාන්තාව විසින් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.