bringing-the-trophy-from-the-sky---t20-series-starts-this-evening-with-badshah-and-nora-joining-sangeet

2026 අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නව ජීවයක් එක් කරමින්, ඉතා විචිත්‍රවත් සමාරම්භක උළෙලක් අද (7) සෙනසුරාදා සවස මුම්බායි හි සුප්‍රකට වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සම සත්කාරක ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන පළමු තරගයට පූර්වගාමීව පැවැත්වෙන මෙම වර්ණවත් උත්සවය, ක්‍රියාදාමයන්ගෙන් පිරුණු තරගාවලියකට කදිම ආරම්භයක් ලබා දෙනු ඇත.




ඉන්දීය වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භ වීමට නියමිත මෙම උළෙල, සජීවී සංගීතය සහ දැවැන්ත නර්තන වින්‍යාසයන් මුසු කරමින් මුළු ක්‍රීඩාංගණයම තනි විචිත්‍රවත් වේදිකාවක් බවට පත් කිරීමට නියමිතය. රිෂාබ් ශර්මා සහ ශිවමනී එක්ව ඉදිරිපත් කරන ප්‍රබල සංගීතමය අංගයකින් උත්සවය ආරම්භ වන අතර, ඉන් අනතුරුව විස්සයි-20 ලෝක කුසලාන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒම සිදුවනු ඇත. ජෙට්පැක් (Jetpack) තාක්ෂණය භාවිත කරන ශිල්පියෙකු විසින් අහසින් පැමිණ කුසලානය රැගෙන ඒම වංකඩේ ක්‍රීඩාංගණයේ සිටින ප්‍රේක්ෂකයන් විශ්මයට පත් කරන මොහොතක් වනු නොඅනුමානය.

අයි.සී.සී. සභාපති ජේ ෂා සහ 2024 වසරේදී ශූරතාව දිනා දුන් හිටපු ඉන්දීය නායක රෝහිත් ශර්මා විසින් මෙම කුසලානය පිළිගැනීමට නියමිත අතර, සහභාගී වන සෑම රටක්ම නියෝජනය කරමින් ළමුන් 20 දෙනෙකු ද ඔවුන් සමග එක්ව තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසුව ජනප්‍රිය ගායක බාද්ෂාගේ වේගවත් ගායනයන් සහ නෝරා ෆතේහිගේ විචිත්‍රවත් නර්තන අංගයන්ගෙන් වේදිකාව උණුසුම් වන අතර, ඔවුන් දෙපළ එක්ව ඉදිරිපත් කරන අවසන් මහා ප්‍රසංගයෙන් මෙම සමාරම්භක උළෙල උච්චතම අවස්ථාවට ළඟා වනු ඇත.




විස්සයි-20 ක්‍රිකට් තරගයක ඇති වේගය සහ ජවය පිළිබිඹු වන පරිදි මෙම උත්සවය සැලසුම් කර ඇති අතර, ක්‍රීඩාංගණයේ තණතීරුව ඒකාබද්ධ දෘශ්‍ය කැන්වසයක් ලෙස භාවිත කරමින් තරගාවලියේ නිල ලාංඡනය ප්‍රධාන වේදිකාව ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. දැකුම්කළු ගිනිකෙළි සංදර්ශනයකින් උත්සවය අවසන් වූ වහාම, පස්වරු 7.00 ට ඉන්දියාව සහ ඇමෙරිකාව අතර තරගය ආරම්භ වනු ඇත. මෙම අවස්ථාව නැරඹීම සඳහා අවසර ලැබෙන්නේ තරගය සඳහා ප්‍රවේශපත්‍ර හිමි ක්‍රීඩාලෝලීන්ට පමණකි.