the-panadura-lyceum-student-jumped-from-the-third-floor-ignoring-the-teachers-advice

පානදුර ප්‍රදේශයේ පිහිටි ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු එම පාසල් ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් බිමට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම අනතුරට මුහුණ පා ඇත්තේ එම පාසලේ නවය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.




පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාසලේ ගුරුවරයෙකු විසින් ලබා දුන් අවවාදයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත සිසුවා මෙම පියවර ගෙන ඇති බවයි. පසුගිය 03 වනදා පාසලේ පැවති ප්‍රදර්ශනයක් සම්බන්ධයෙන් අදාළ සිසුවා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් (Comment) මුල් කරගෙන ගුරුවරයා මෙම අවවාද කිරීම සිදු කර ඇති බවත්, එයින් පීඩනයට පත් සිසුවා හදිසියේම දිව ගොස් ගොඩනැගිල්ලෙන් පහළට පැන ඇති බවත් වාර්තා වේ.

බරපතළ තුවාල ලැබූ සිසුවා මූලික ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී සිසුවාගේ හිසෙහි ඇති වූ තුවාල තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.




පානදුර දකුණ මූලස්ථාන පොලිසිය සහ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් එක්ව සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර විමර්ශන ආරම්භ කර තිබේ. පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.