while-walking-to-exercise-the-former-sdig-was-shown-a-sword-and-broke-his-necklace

කැලණිය, වරාගොඩ පාර ප්‍රදේශයේදී ව්‍යායාම සඳහා නිරත වෙමින් සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට කඩුවක් පෙන්වා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 12 ක් වටිනා රන්මාලයක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් ඊයේ (6) මීරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. කටාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 34 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොල්ලකෑම සඳහා යොදාගත් යතුරුපැදිය සහ කඩුව ද පොලිස් භාරයට ගෙන ඇත.




මෙම සිද්ධියට මුහුණ පෑ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැලණිය, නාරම්මිණීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඉකුත් 4 වැනිදා වරාගොඩ පාරේ ව්‍යායාම කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ බාධා කර තිබේ. එහිදී යතුරුපැදියේ පසුපැදිකරු කඩුවක් අතැතිව ඔහු දෙසට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බිය වී පලායාමට උත්සාහ කිරීමේදී බිම ඇද වැටී ඇත. එසේ බිම වැටුණු අවස්ථාවේදී සැකකරු කඩුව පෙන්වා මරණීය තර්ජනය එල්ල කරමින් ඔහුගේ ගෙල බැඳි පෙන්ඩනය සහිත රන්මාලය පැහැරගෙන පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ජාඇල, පමුණුගම සහ කටාන ඇතුළු ප්‍රදේශ කිහිපයක මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා හයක් පමණ පවතින බව පොලිසිය අනාවරණය කළේය.




මෙම සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක යන මහත්වරුන්ගේ උපදෙස් මත, කැලණිය කොට්ඨාස I භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ මගපෙන්වීමෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර සහ කටාන පොලිස් ස්ථානාධිපති වසන්ත සුදසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවති.