ව්‍යාජ තොරතුරු භාවිත කරමින් මෙරටින් පලා ගොස් විදේශ රටවල සැඟවී සිටින පාතාල සාමාජිකයන් විසිහය දෙනෙකු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. වෙනත් පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප උපයෝගී කරගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන මොවුන් මෙලෙස රටින් පලා ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (26) දින අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලැබීය. එහිදී විමර්ශනයට ලක්වන සැකකරුවන් විසිහය දෙනාගෙන් දෙදෙනෙකුගේ පමණක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.
මෙහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඇඟිලි සලකුණු වාර්තා කිහිපයක් පරීක්ෂණ සඳහා ඇඟිලි සලකුණු කාර්යාලය වෙත යොමු කළ බවත්, ඉන් මේ වන විට ලැබී ඇත්තේ වාර්තා දෙකක් පමණක් බවත්ය. කෙසේ වෙතත්, අදාළ සැකකරුවන් සියලු දෙනාගේම ඇඟිලි සලකුණු වාර්තා සම්බන්ධයෙන් තොරතුරු කැඳවා ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා සිටි අතර, සියලු වාර්තා අදාළ අංශ වෙත යොමු කර පරීක්ෂණ කටයුතු කඩිනම් කරන බවට පොලිසිය එහිදී දැනුම් දුන්නේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව, මෙම පලාගිය පාතාල කල්ලි සාමාජිකයන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය. ඒ අනුව, මෙම විමර්ශනයේ ඉදිරි ප්‍රගතිය එළඹෙන මැයි මස 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර තිබේ.