pohottuwa-lawyer-alex-who-forged-26-fake-land-deeds-sentenced-to-16-years-in-prison

ව්‍යාජ ලෙස ඉඩම් ඔප්පු 26ක් සකස් කිරීමේ වරද වල් අතරින් එක් වරදකට වරදකරුවන් වූ නීතිඥවරයෙකු හා පොහොට්ටුවේ වත්මන් මන්ත්‍රීවරයකු සහ ඔහුගේ කළමනාකරුට බරපතළ වැඩ සහිත වසර දහසයක සිරදඬුවම් නියම කර තිබේ. 


ඒ පැමිණිලිකරුට අයත් වයික්කාල ප්‍රදේශයේ අක්කර 03 යි රූඩ් 02 ක් හා පර්චස් 34 ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු 26 ක් සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙනි.

හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය විසින් ඊයේ (18) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙලෙස දඬුවම් නියම වූයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් මන්ත්‍රීවරයෙකු ද වන වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු නමැති නීතිඥවරයාට සහ රම්පටි දේවගේ සමන් කුමාර නමැති ඔහුගේ කළමනාකරුටය.




ව්‍යාජ ඔප්පු 26ක් සකසා ඉඩම් අලෙවි කිරීමේ චෝදනාව මත විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් නියම කළේය.

නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් ඊයේ (18) මේ දඬුවම් නියම කරන ලදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදා ය. එහි සඳහන්ව ඇත්තේ අක්කර 03, රූඩ් 02, පර්චස් 24ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මීට අදාළ විමර්ශන සිදු කිරීමෙන් පසු, 2021 වසරේදී නීතිපතිවරයා විසින් නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට සහ රම්පටිදේවගේ සමන් කුමාරට එරෙහිව හලාවත මහාධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකර තිබිණි. නඩුවේ තීන්දුව ලබාදෙමින් පළමු විත්තිකරු වූ සමන් කුමාර චෝදනා 03කට වරදකරු කරමින් වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණය, පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය. දෙවැනි විත්තිකරු වූ නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ද චෝදනා 03කට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණය, ඔහුට වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් මෙන්ම රුපියල් ලක්ෂ 8ක වන්දියක් ද නියම කළේය.

මේ නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ. ඔහු පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිවරයා ය.නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව චෝදනා පහක් යටතේ නඩු පවරා තිබුණේ 2009 වසරේ මාර්තු මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිදු කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙනි. වර්ණකුලසූරිය ජෝන් සරත් කුමාර තිසේරා නැමැත්තෙකු විසින් විකුණුම්කරයක් හරහා ඉඩමක් පවරා දෙන බවට පවසමින්, පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය වූ කරුණාරච්චිගේ සුසන්නා මහත්මියව රවටා කූඨ ලෙස සින්නක්කර ඔප්පුවක් සකස් කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරුවරිය එහිදී නිගමනය කළාය. විත්තිකරුවන්ට නියම වූ වසර දහසයක සිරදඬුවම වසර දහයක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත.

සිරදඬුවමට අමතරව, එක් විත්තිකරුවෙකුට රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් දඩ මුදලක් ගෙවන ලෙසද නියම කෙරුණු අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස දහහතරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම වනු ඇත. තවද, වංචාවට ලක්වූ සුසන්නා මහත්මිය වෙත රුපියල් ලක්ෂ අට බැගින් වන්දි ගෙවීමට ද විත්තිකරුවන්ට නියෝග කෙරුණු අතර, එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස දොළහ බැගින් වූ සිරදඬුවමකට යටත් වීමට ඔවුන්ට සිදුවනු ඇත.




මෙම නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, නීතිඥවරයෙකු විසින් සැලසුම් සහගතව සිදුකර ඇති මෙම අපරාධය සමස්ත වයඹ පළාතටම විශාල තර්ජනයක් වී ඇති බවයි. මෙවැනි ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිදුවීම් රැසක් එම පළාතෙන් වාර්තා වන බැවින් සෙසු නීතිඥවරුන්ට ද පූර්වාදර්ශයක් වන පරිදි දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, විත්තිකාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවත් ඉන් දෙදෙනෙකු නීතිය හදාරන බැවිනුත් ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසයි. මෙම නඩුව සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන පද්මාල් වීරසිංහ සහ කුලන කොතලාවල යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සමගින් පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නිපුන් නවරත්න මහතා සමඟ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා ද, පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් පිළිවෙලින් නීතිඥ සුජිත් ප්‍රියංකර සහ පද්මකුමාර රන්දෙණිය යන මහත්වරුන් ද පෙනී සිටින ලදී.