the-beruwala-police-raid-the-abortion-center-after-jaya

බේරුවල පොලිස් ස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි කටයුතු සිදුකළ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව ඇත.




අත්අඩංගුවට පත් සැකකරු මීට ඉහත බේරුවල ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කළ අයකු බවත්, බේරුවල පොලිසිය පිටුපස මෙම ජාවාරම සිදුකරන බවට කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

අදාළ තොරතුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව, උපාය දූතයකු මාර්ගයෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන ගබ්සාවක් සිදු කිරීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කර තිබිණි.




ඒ අනුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ද සහිතව ඉකුත් 8 වැනිදා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, බේරුවල පොලිසිය පිටුපස පෙරේරා මාවතේ පිහිටි 'බේරුවල නර්සිං හෝම්' නැමැති ස්ථානයට ගොස් ඇති අතර එහිදී උපාය දූතියක ලෙස යෙදවූ පොලිස් කොස්තාපල්වරියක ගබ්සා කිරීමට සූදානම් වූ අවස්ථාවේදීම සැකකරු නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

මෙම ස්ථානයේ තිබී ගබ්සා කිරීම සඳහා භාවිත කරන ඖෂධ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මොහු එක් ගබ්සාවක් සිදුකිරීම වෙනුවෙන් රුපියල් හතළිස් පන්දහසක මුදලක් හෝ ඊට වැඩි අගයක් අය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.



වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ සහායිකාව ලෙස කටයුතු කළ කාන්තාව එම ස්ථානයේදීම සිහිසුන්ව ඇදවැටී ඇති අතර, තමන්ව අත්අඩංගුවට නොගැනීම සඳහා නිලධාරීන්ට ඕනෑම මුදලක් ලබා දීමට වෛද්‍යවරයා විසින් යෝජනා කර ඇතත් නිලධාරීන් එම අල්ලස් ප්‍රතික්ෂේප කර ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව සිදුකළ වැඩිදුර සොයා බැලීමේදී මෙම වෛද්‍යවරයා විසින් දීර්ඝ කාලයක සිට මත්පෙති ජාවාරමක් ද සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.