1972 අංක 07 දරන ගෙවල් කුලී පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා ලබා දී තිබූ කාලය ලබන මාර්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව අදහස් දැක්වීමට අපේක්ෂා කරන පාර්ශ්වයන් වෙතොත්, ඔවුන්ගේ ලිඛිත අදහස් සහ යෝජනා කඩිනමින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය ඉල්ලා සිටියි. මහජනතාවගෙන් සහ විවිධ සංවිධානවලින් ලැබෙන මෙම ලිඛිත අදහස් විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අදාළ කරුණු සලකා බැලීමට නියමිතය.
විශේෂඥ කමිටුවක් මගින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත් ද්විත්වය විධිමත් කාර්ය පටිපාටියක් අනුගමනය කරමින් පසුගිය 2025 වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කෙරුණි. ඉන් අනතුරුව 2025 නොවැම්බර් 04 වැනිදා සිට 2026 ජනවාරි 15 වැනිදා දක්වා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සහ පුවත්පත් මාර්ගයෙන් මහජන අදහස්, යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමට ප්‍රසිද්ධියක් ලබා දී තිබූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම 2025 ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් මෙම නව නීති සම්බන්ධයෙන් ඔවුන්ගේ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වා තිබූ බව ද අමාත්‍යාංශ ලේකම්වරිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් මුලින් ලබා දී තිබූ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ලැබී තිබුණේ ලිඛිත අදහස් දැක්වීම් දෙකක් පමණක් බව අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
මෙම කෙටුම්පත් පිළිබඳව පුළුල්ව අදහස් දැක්වීම සඳහා කාලය අවශ්‍ය බව දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය ජනවාරි 29 වැනිදා ලිඛිතව දැනුම් දී ඇති අතර, තවත් සංවිධාන රැසක් ද මේ සම්බන්ධයෙන් කාලය ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව පෙබරවාරි 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මසක කාලයක් මහජන අදහස් විමසීම සඳහා කාලය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.