දේශීය තැපැල් සේවාවට අදාළව ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එම නව ගාස්තු සංශෝධනය අද (09) දින සිට බලාත්මක වේ. මෙම සංශෝධනයට අනුව සාමාන්ය ලිපියක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 70 දක්වා ඉහළ නංවා ඇති නමුත්, ලියාපදිංචි තැපැල් ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින් එය පවතින රුපියල් 60 මිලෙහිම ක්රියාත්මක වනු ඇත.
ගාස්තු සංශෝධනයට සමගාමීව සාමාන්ය සහ ව්යාපාරික ලිපි සේවාවල බර පන්තීන්හි ද වෙනස්කම් සිදු කර ඇති අතර, ඒ අනුව මූලික බර පන්තිය ග්රෑම් 20 සිට ග්රෑම් 30 දක්වාත්, පත්රිකා හෝ පත්රිකා කට්ටලයක උපරිම බර ග්රෑම් 100 සිට 120 දක්වාත් ඉහළ දමා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. පුණ්යායතන, සමාජ සේවා සහ ස්වේච්ඡා සංවිධාන විසින් තැපැල් කරනු ලබන ලිපි සඳහා පැවති රුපියල් 30ක ගාස්තුව රුපියල් 50 දක්වා වැඩි කර ඇති අතර, සාමාන්ය තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 40 දක්වා සංශෝධනය කර ඇත.
රාජ්ය අංශයේ අවශ්යතා සඳහා අමාත්යාංශ සහ දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ යොමු කිරීමේදී ලබා දෙන විශේෂ ලියාපදිංචි සේවාව සඳහා අය කළ ගාස්තුව රුපියල් 110 සිට 130 දක්වා ඉහළ දමා ඇති අතර මීට අමතරව ප්රචාරණ තැපැල්, ටෙලිමේල්, මුද්දර කවර, තැපැල් මළු සේවාව මෙන්ම ගාස්තු නොගෙවූ හෝ අඩුවෙන් ගෙවූ භාණ්ඩ සඳහා වන අවම අධිභාරය ද සංශෝධනයට ලක්ව තිබේ. කෙසේ වෙතත් සාමාන්ය පාර්සල් ගාස්තුව සහ ශ්රී ලංකා පෝස්ට් කුරියර් සේවාව සඳහා අය කරනු ලබන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.