pay-salaries-properly---the-deputy-media-minister-asks-private-media-houses

පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදීන්ගේ සහ වෘත්තිකයින්ගේ වැටුප් ඇතුළු වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ඇතැම් මාධ්‍ය ආයතන වසා දැමීම, කෑලි ගණනට ගෙවීමේ පදනම මත වැඩ ලබා ගැනීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තකයින්ගේ භාර අරමුදල (ETF) වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ අහිමි වීම මෙන්ම ලබාගන්නා සේවයට නිසි පරිදි වැටුප් නොගෙවීම යන කරුණු මුල් කරගනිමින් මෙම පැමිණිලි බහුලව ඉදිරිපත් වී තිබේ.




මෙම ගැටලු පැවතියද, පෞද්ගලික මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික සමාගම් ලෙසින් සමාගම් පනත යටතේ බැවින් සහ ඒවා කම්කරු නීතිවලට යටත්ව පාලනය වන බැවින්, එම ආයතනවල සේවකයින්ගේ රැකියා සහ වැටුප් ගැටලු සම්බන්ධයෙන් සෘජුවම බලපෑම් කිරීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට අවම බව නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එම නිසා අගතියට පත් සේවකයින් තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කම්කරු නීතිය හරහා කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලබන මෙහෙවරට ගරු කිරීමක් ලෙසත්, දිනෙන් දින ඉහළ යන පැමිණිලි ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනුත් රජය මේ සම්බන්ධයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇත. ඒ අනුව, සියලුම පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත 2026 ජනවාරි මස 07 වන දිනැතිව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් විශේෂ ලිපියක් යොමු කර තිබේ. තම ආයතනවල සේවය ලබාදෙන සියලුම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව තහවුරු කරමින් ඔවුන්ගේ සේවය අගය කරන ලෙසත්, ඊට අදාළ වැටුප් සහ දීමනා නිසි පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසත් රජය එමගින් පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.