t20-world-cup-super8-zimbabwe-vs-west-indies-many-records

සඳුදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන සුපිරි 8 වටයේ තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

ලකුණු 255ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.




පන්දු 19කදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළ ෂිම්රොන් හෙට්මයර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙම තරගය තුළ සුවිශේෂී ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත් වූ අතර, තරගය පුරාවටම හයේ පහර 31ක් වාර්තා වීම එහි කැපී පෙනෙන සිදුවීමකි. මෙය විස්සයි-20 ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව වන අතර, මීට පෙර 2014 වසරේ සිල්හෙට් හි පැවති අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරගයකදී හයේ පහර 30ක් වාර්තා වී තිබීම පැරණි වාර්තාව විය.

මෙහිදී පන්දු 19කින් අර්ධ ශතකයක් ලබාගත් ෂිම්රොන් හෙට්මයර්, විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව් ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සිය නමට ලියා ගත්තේය. මීට පෙර 2012 වසරේ කොළඹදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිස් ගේල් පන්දු 23කින් සහ මෙවර තරගාවලියේදීම ඊඩ්න් ගාඩ්න්ස් හිදී ස්කොට්ලන්තයට එරෙහිව හෙට්මයර් විසින්ම පන්දු 22කින් අර්ධ ශතක ලබාගෙන තිබුණි. එසේම, මෙම තරගයේදී හෙට්මයර් එල්ල කළ හයේ පහර 7ත් සමගින් මෙම තරගාවලිය තුළ ඔහු එල්ල කර ඇති මුළු හයේ පහර සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගිය අතර, එය 2024 තරගාවලිය තුළ නිකලස් පූරන් තබා තිබූ වැඩිම හයේ පහර ප්‍රමාණයේ වාර්තාව සම කිරීමකි.




තරගයේ තවත් සුවිශේෂී වාර්තාවක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රැඩ්ලි එවන්ස් සහ රිචඩ් න්ගාරාවා 10 වැනි කඩුල්ල සඳහා පන්දු 19කදී ලකුණු 44ක සබඳතාවක් ගොඩනැගීම දැක්විය හැකිය. මෙය ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් කඩුල්ල සඳහා වූ ඉහළම සබඳතාව වන අතර, 2024 වසරේ නවසීලන්තයට එරෙහිව ගුඩකේෂ් මෝටි සහ ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 37ක් නොදැවී රැස්කරමින් තබා තිබූ වාර්තාව මින් බිඳ වැටුණි. මීට අමතරව, සිම්බාබ්වේ ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් ලකුණු 5කට දැවී ගියද, ඔහු ඊට පෙර තරග 4ක් පුරාවට දැවී නොගොස් රැස්කළ ලකුණු 180ක ප්‍රමාණය තරගාවලියක් තුළ නොදැවී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාගේ නව වාර්තාව ලෙස සටහන් විය. මීට පෙර 2014 දී නෙදර්ලන්තයේ ටොම් කූපර් ලකුණු 111ක් නොදැවී රැස්කරමින් මෙම වාර්තාවට හිමිකම් කීවේය.

හෙට්මයර්ගේ ප්‍රවේගකාරී ඉනිම අතරතුරදී ටෂිංගා මුසෙකිවා අතින් අවස්ථා දෙකකදීම උඩපන්දු ගිලිහී යාම කොදෙව්වන්ට දැවැන්ත වාසියක් විය. බ්ලෙසිං මුසරබානිගේ පන්දුවකට ලකුණු 9දී සහ බ්‍රැඩ් එවන්ස්ගේ පන්දුවකට ලකුණු 70දී හෙට්මයර් ලබා දුන් එම අවස්ථා දෙකම ගිලිහී ගියේය. ඔහු සිකන්දර් රාසාගේ පන්දුවකට මීටර් 108ක දැවැන්ත හයේ පහරක් ද එල්ල කළ අතර, රොව්මන් පවෙල් ද ඩියොන් මයර්ස්ගේ පන්දුවකට මීටර් 106ක හයේ පහරක් එල්ල කරමින් පන්දුව වන්කඩේ ක්‍රීඩාගාරයේ ඉහළ මාලය (second tier) දක්වා යැවීමට සමත් විය.



තරගයේ 16 වැනි පන්දුවාරයේදී රොව්මන් පවෙල් එල්ල කළ ප්‍රබල පහරක් පන්දු යවමින් සිටි සිකන්දර් රාසාගේ වම් අතේ වැදීමෙන් ඔහු දැඩි වේදනාවකට පත් වූ අතර, තරගය සුළු මොහොතකට නතර කිරීමටද සිදුවිය. එහිදී පවෙල් වහාම ඔහු වෙත ගොස් ඔහුව වැළඳගෙන නළල සිපගනිමින් අපූරු ක්‍රීඩාශීලිත්වයක් ප්‍රදර්ශනය කළේය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායමේ අකීල් හොසේන් ද්විත්ව කඩුලු නිලකුණු (Double wicket maiden) පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම කැපී පෙනුණු අතර, එහිදී ඔහු පළමු පන්දුවෙන් බ්‍රයන් බෙනට් දවාගෙන හතරවැනි පන්දුවෙන් ලකුණු නොලබාම සිටි රයන් බර්ල් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම අඩාල කිරීමට සමත් විය.