ගල් අගුරු සැපයීමේ ක්‍රියාවලිය හා අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මේ සමග පළවන්නේ ඒ ගැන සටහනයි.
ප්‍රශ්නය: ඇමැතිතුමා, ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියටම කළාද?
පිළිතුර: ඇත්තටම ලංකා කෝල් (Lanka Coal) සමාගම විසින් තමයි මේ ප්‍රසම්පාදනය කරලා තියෙන්නේ. අමාත්‍යාංශය යටතේ පිහිටුවලා තියෙන ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් විදිහට, ඒකෙදි නිරීක්ෂණය වන විදිහට ඇත්තටම ප්‍රසම්පාදනය පදනම් වෙලා තියෙන්නේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කර බලා, තෝරාගන්නා සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම මතයි. ඒකෙදි විශේෂයෙන්ම පසුගිය කාලයේ සිට පැවතගෙන එන කොන්දේසි අනුව, සැපයුම්කරුවන්ගේ පූර්ව සුදුසුකම්, මූල්‍ය සාක්ෂරතාවය යන හැමදෙයක්ම පරීක්ෂා කරලා බලලා, සැපයුම්කරුවන් තෝරාගැනීම ආරම්භ කරන විට 26 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.
ඒ 26 දෙනාගෙන් තමයි කැබිනට් අනුමැතිය මත ටෙන්ඩරයක් කැඳවූවේ. එතකොට ටෙන්ඩර් එකේදී සැපයුම්කරුවන් 10 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදනයට වැඩිම ලංසුකරුවන් ඉදිරිපත් වෙච්ච ප්‍රසම්පාදනය තමයි මේ නැව් 25 සඳහා ඉදිරිපත් වුණේ. ඒකෙදි ඇත්තටම සියලුම සැපයුම්කරුවන් කොන්දේසි ඉටු කරලා, ඒගොල්ලො එකඟතාවය පළ කරලා තිබුණු හින්දා, විශේෂයෙන්ම අවම මිල ඉදිරිපත් කරපු සමාගමට තමයි ඇත්තටම ප්‍රසම්පාදනය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රදානය වුණේ. ඒ අනුව තමයි දෙසැම්බර් මාසයේ 30 වෙනිදා ඉඳලා මෙම ගල් අඟුරු තොග ලංකාවට ලැබිලා ගොඩබෑම පටන් ගත්තේ. දැනට පවතින තත්ත්වය අනුව තොග වශයෙන් ගත්තොත්, නැව් 25ක් දැනට ලැබීමට නියමිතයි. මේ වෙනකොට දහවැනි තොගයත් ලංකාවට ලැබිලා තියෙනවා. ඉදිරි කටයුතු කෙරීගෙන යනවා.
ප්‍රශ්නය: දැනට නැව් කීයක් ඇවිත් තියෙනවාද දැන්?
පිළිතුර: දැන් වෙනකොට නැව් දහයක් ලංකාවට ලැබිලා තියෙනවා. නමවැනි තොගය ගොඩබාමින් පවතිනවා.
ප්‍රශ්නය: නැව්වල සහතික ගැන කතා කළොත්?
පිළිතුර: පැටවීමේ සහතිකය කියන්නේ පිරිවිතරයන් පරීක්ෂා කරපු සහතික 10ක් ලැබිලා තියෙනවා. එතකොට ගොඩබෑමේ සහතික, ඒ කියන්නේ ගොඩබෑමේදී නියැදි (samples) පරීක්ෂා කිරීමෙන් ගන්නා වාර්තා 1 සිට 6 දක්වා දැන් අපි වෙත ඇවිල්ලා තියෙනවා.
පැටවීම් වරායේදී ලබාගන්නා සාම්පල අනුව නැව් දහයක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් පැටවීම් වරායේදී ගන්න සාම්පල් වලට අදාළ වාර්තාවල විශේෂයෙන්ම දළ කැලරි අගය (Gross Calorific Value) 5900 ට ඉහළින් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපිට දැනට තියෙන වාර්තාව. ගොඩබෑම් වරායේදී ගන්න නියැදිවලට අදාළ සාම්පල්, අදාළ පරීක්ෂණාගාරයෙන් පරීක්ෂා කරලා දැනට වාර්තා හයක් අපි වෙත ලැබිලා තියෙනවා. පළවෙනි නැව් තොගයේ වාර්තාව මූලික පරාසය වන 5900 ට වැඩියි ද අඩුයි ද කියන එක ගත්තොත්, අනිත් පහම ඒ පදනම වන 5900 ට වඩා වැඩි ප්‍රමාණයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ.
මේ සමාගම්, එනම් ලංකා කෝල් සමාගම සහ සැපයුම්කරු සමාගම නීත්‍යානුකූල ගිවිසුමකට එළඹිලා තියෙන්නේ. එතකොට අපිට නීත්‍යානුකූල පැත්තෙන් කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි නීත්‍යානුකූලව ඒ ගිවිසුම පරිපාලනය කරන එක. ඒ අනුව විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකදී සැපයුම අවලංගු කරන්න, මේ ගිවිසුම අවලංගු කරන්නේ නම් තියෙන එකම ක්‍රමය තමයි නැව් තොග පැටවීම් වරායේ වාර්තාවේ දළ කැලරි අගය 5900 ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම ගොඩබෑමේ වරායේ වාර්තාවේද දළ කැලරි අගය 5000 කට වඩා අඩු වෙන්න ඕනෙ. ඒ තැන් දෙකේම අගයන් අඩු වුණොත්, අපිට කිසිම ගැටලුවක් නැතුව ඒ සැපයුම අවසන් කරන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදයත්.
අපිට දැන් ලැබෙන පරීක්ෂණ වාර්තා අනුව එහෙම එක නැවක්වත් ඒ වාර්තා දෙකෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච ඒවා නැහැ. දැනට ඒකෙන් පදනම 5000 ට අඩුව ඇවිල්ලා නැහැ. පළවෙනි එකේ පදනම 5900 ට අඩුවෙන් තමයි අපිට ගොඩබෑමේ වරායේ වාර්තාවේ තියෙන්නෙ. ඒකෙ අපි අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා. මොකද ඊළඟට ඒකේ තියෙන්නේ ගිවිසුම අනුව රෙෆරන්ස් (Reference) සාම්පලයක් විදිහට, අර ගත්ත සාම්පල වලින් තව සාම්පල් එකක් සැපයුම්කරු සහ ගැනුම්කරු දෙදෙනාගේම කැමැත්ත මත තවත් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ ආයතනයකට යවලා ගන්න තීරණය තමයි අවසන් තීරණය වෙන්නේ. ඒක අපි දැනට ක්‍රියාත්මක කරනවා. මං හිතන්නේ හෙට වෙනකොට ඒ සාම්පල් එක අදාළ රසායනාගාරය වෙත යවන්න කටයුතු කරගෙන යනවා. දෙගොල්ලොම එකඟ වෙච්ච එකකට තමයි යවන්නේ.
ප්‍රශ්නය: දඩ ගෙවීමේ ක්‍රමවේද තියෙනවාද?
පිළිතුර: දඩ ගෙවීමේ ක්‍රමවේද තියෙනවා. මේ ගිවිසුමේ ඒවා අඩංගු කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවට අවශ්‍ය මූලික පිරිවිතරය තමයි දළ කැලරි අගය 6150 කියන එක. හැබැයි අපි නැව් තොග බාරගන්නේ 5900 ත් 6150 ත් අතර තියෙනවා නම් තමයි බාරගන්නේ. ගොඩබෑමේදී එතකොට 5900 ට අඩු උනොත් එහෙම, ඒක තව විදිහකට තමයි ගණනය කරන්නේ. ඒ කියන්නේ 6150 ට අඩු වෙලා 5900 ත් අතර තිබුණොත්, එම ගොඩබෑමේ වරායේ වාර්තාව අනුව ගිවිසුමේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් අනුව දඩයක් ගහනවා. ඒ වගේම ගොඩබෑමේ වරායේ වාර්තාව අනුව 5900 ට වඩා අඩු නම්, ඒකට අර වගේ දෙගුණයක දඩයක් ගහන්න නියම කරලා තියෙනවා. ඒගොල්ලොම අත්සන් කරපු ගිවිසුමේ මේවා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
ප්‍රශ්නය: ගොඩබෑමේ වරායේ වාර්තාවේ සඳහන් වුණු විදිහට බලශක්ති නිෂ්පාදනය නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර වලින් නිෂ්පාදනය වෙන්නේ නැහැයි කියන එකත් එක්ක ගැට ගැහිච්ච තත්ත්වයක් තමයි කියන්නෙ නේද?
පිළිතුර: උදාහරණයට ගත්තොත් 5950 තිබුණට ගොඩබෑමේ වරායේ වාර්තාවේ, ඒ 5950 ට අදාළ බලශක්තියක් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. ගල් අඟුරු බානකොට කෙලින්ම බොයිලේරු වලට යොමු කරනවා. ඒකෙදී අහිමි වන බලශක්ති වෙනස කියන්නේ, විදුලිය මදි වෙනවා නේ. දැන් අපි කිව්වොත් ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්ද බලශක්තිය නිෂ්පාදනය වෙන්නේ කියන අත්දැකීම තමයි දැන් ලබමින් පවතින්නේ.
එතකොට ඒ අඩුවෙන බලශක්තිය අපි විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගන්නවා නම්, අපිට මිලදී ගන්න වෙන්නේ ඛනිජ තෙල් ආශ්‍රිත බලාගාර වලින්. එතකොට ඒකෙන් ලබාගන්න යන මිල සංසන්දනය කරලා, ඒකත් එක්ක තමයි ගණනය කරන්නේ. ඒකට වැඩිපුර මුදලක් තෙල් සඳහා වැය වෙනවා. දැනට සාමාන්‍යයෙන් රුපියල් 21 කට විතර යන ගල් අඟුරු වලින් එන එකක මිල, අතින් දීලා ගත්තොත් රුපියල් 60 ට එහා යනවා කියන උපකල්පනය මත සහ ඒක දිගටම ඒ විදිහට යනවා කියන උපකල්පනය මත තමයි මේ ගණනය කරලා තියෙන්නේ.
ප්‍රශ්නය: සිද්ධ වෙන්න පුළුවන් නරකම දේවල් ඔක්කොම වුණොත් හැදෙන අලාභය තමයි විපක්ෂය ගණනය කරලා තියෙන්නේ?
පිළිතුර: අනිවාර්යෙන්ම. ඇත්තටම අපි ගත්තොත් එහෙම, ඒක Worst-case scenario එකෙන් තමයි කියන්නෙ. මේක හදලා තියෙන්නේ ගල්අඟුරු උපරිම අඩුවෙන් පාවිච්චි වෙනවා නම්, නැවේ හැම දිනකම ඕක පාවිච්චි කරාම මේ තත්ත්වයන් එන්නේ කොහොමද කියලා. එතකොට එළියෙන් ගන්න තියෙන ඛනිජ තෙල් ආශ්‍රිත බලශක්තියේ උපරිම මිලත් එක්ක සංසන්දනය කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒක තාම ඇත්ත අගයක් විදිහට අපිට සලකන්න බැහැ. මේකට අවශ්‍ය පරීක්ෂණ කරන්න අවශ්‍ය කටයුතු අපි යොදා ගෙන යනවා.
ප්‍රශ්නය: ප්‍රමාදවීම් වල තියෙන තත්වය හේතුවෙන් ගල්අඟුරු වල පාඩු...
පිළිතුර: ඒ හින්ද විදුලිබිල වැඩිවෙන්න මේක කිසිම හේතුවක් නෑ. දැනට විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉදිරියට තියෙන කාර්තු සඳහා යන පිරිවැය පුරෝකථන අනුව, ලංකා විදුලිබල මණ්ඩලයට සියයට 13.5 ක මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරයේ වගකීම අනුව ඒගොල්ලෝ තවදුරටත් මේක විශ්ලේෂණය කරලා, හැම සාධකයක්ම හොයලා බලලා තීරණයක් ගනීවි ඉස්සරහදී. ඒකට කිසිම විදිහකින් මෙම ගල් අඟුරුවලින් වෙන පාඩුවක් හෝ වැඩියෙන් වියදම් වන මුදලක් හෝ අන්තර්ගත කරලත් නෑ. එහෙම කරන්න දැන් ඇත්තටම ප්‍රායෝගික පුළුවන්කමකුත් නෑ. මොකද ඒක හරියටම නිර්ණය කරලා නෑ. මේ ඇස්තමේන්තු විදිහට තමයි දැනට යන්නේ. ඉතින් අපිට ඒක ඇස්තමේන්තුවක් විදිහට දැනට දෙන්න බැහැ.
පැහැදිළිවම මොකද මුළු නැවකවත් ගල් අඟුරු තාම සම්පූර්ණයෙන් පාවිච්චි කරලා නෑ. සමහර වෙලාවට වරුවක් හෝ දිවා කාලයේ සමහර වෙලාවට, රාත්‍රී කාලයේ පොඩි ප්‍රමාණයක් ඒ විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ හින්දා අපිට පෙබරවාරි මාසයේ අග වෙනකම්ම ගිය අවුරුද්දේ ප්‍රසම්පාදනය හරහා සැපයුම් කරපු ගල් අඟුරු තවම පවතිනවා. ඒ ටික ඉවර වුණාම තමයි මේක සම්පූර්ණ වශයෙන් පාවිච්චි වෙන්නේ. ඊට අදාළ නිවැරදි නිරීක්ෂණ ටික අපිට ලබාගන්න පුළුවන් වෙයි. එතකොට ඒකට අවශ්‍ය සූදානම් වීම්, ඒ අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා.
ප්‍රශ්නය: දුර්වල ගල්අඟුරු හරි වෙනත් ප්‍රශ්නයක් ගල්අඟුරු සම්බන්ධයෙන් මතු වුණොත්, නොරච්චෝලේ විදුලි පද්ධතියට එක්කරන විදුලි බලය අහිමි වීම කියන තත්වයක් මතු වෙන්න පුලුවන්ද? ඒකට වෙනත් ප්‍රතිකර්ම මොකක් හරි කල්පනා කරල තියෙනවාද?
පිළිතුර: ඔව්, ඒ අවදානම් ගැන කල්පනා කරලා තියෙනවා. මොකද දැනට යන්ත්‍ර තුනම, ඒකක තුනම දුවනවා. ගිය අවුරුද්ද ගත්තොත් එහෙම, සාමාන්‍යයෙන් ගත්තොත් ඒ යන්ත්‍ර තුනෙන් එකක් දිව්වේ නෑ වගේ තමයි අපිට ගණනය කරන්න වෙන්නේ. ඒ කියන්නේ යන්ත්‍රයක් 4 පාරකට වැඩිය කැඩිලා තියෙනවා, අවුරුද්දකට සාමාන්‍යයෙන් දින 72 ක් විතර Break down දිගටම ගිහිල්ල තියෙනව. සැරෙන් සැරේ එකතුව ගත්තොත් එහෙම. ඉතින් එහෙම ගත්තොත් අපි ඕක සවි කරපු දවසෙ ඉඳලම ඩැමේජ් (damage) වෙනවා, බ්‍රේක් ඩවුන් (break down) වෙනවා, ඒක දිගින් දිගටම තිබුණා. ඒ නිසා අපි උපරිම පරිස්සමින් දැනටත් පාවිච්චි කරනවා. යන්ත්‍ර තුනම මේ වෙලාවේ පාවිච්චි වෙන හින්දා දැන් මේකේ යම් බ්‍රේක් ඩවුන් එකක් වුණොත්, ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම වලට අපි කොහොමත්, ඒ කියන්නේ මේ ගල් අඟුරු එන්න ඉස්සෙල්ලත් යම් සැලැස්මක් සකස් කරලා තියෙන්නේ. අපි සහ ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන අංශය ඒ පිළිබඳ අවධානය යොමු කරගෙන ඉන්නේ.
මොකද ඒක අද ඊයේ ප්‍රශ්නයක් නෙමේ. ගොඩක් වෙලාවට යන්ත්‍ර කැඩෙනවා, නවතිනවා කියලා අපි අත්දැකලා තියෙනවා 2011 ඉඳන්. 2010 - 2011 වර්ෂයේ තමයි ගල් අඟුරු ප්‍රසම්පාදනය ආරම්භ කරලා තියෙන්නේ ලංකාවට. එදා ඉඳලම මේකේ ලොකු හැලහැප්පීම් මතුවෙලා තියෙනවා. අපේක්ෂිත ධාරිතාවයට අඩුවෙන් ඇවිල්ලා, ඒවට දඩ ගහලා, දඩ ගැහුවට අය කරගන්න බැරුව, සමහර වෙලාවට නැව් හරවලා යැව්වා කියලා කිව්වට එක නැවක්වත් හරවලා යවලා නෑ. දඩ අයකරගන්න බැරිවෙච්ච වෙලාවල් තියෙනවා. ඒ වගේම අපේ ගිය අවුරුද්දේ නොරොච්චෝල බලාගාරයේ පරීක්ෂණ සාම්පල අනුව අඩු අගයක් තියෙන ඒවා වාර්තා වෙලත් නෑ. මෙච්චරකල් නැව් හතරක් විතර අපි දැන් අලුතෙන් හොයලා බලනකොට, ඒවා එළියට ආපු නැති වාර්තා තියෙනවා නොරොච්චෝලේ බලාගාරයේ රසායනාගාරයේ. ඒවත් 5900 ට අඩු ගොඩක් ඒවා නැව් හතරක් විතර ඇවිල්ලා පාවිච්චි වෙලා, මේ වගේ අර Energy (බලශක්ති) වෙනසක් වාර්තා නොවෙච්ච දේවලුත් තියෙනවා.
ඉතින් මේක සාමාන්‍යයෙන් එදා ඉඳලා හැලහැප්පීම් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා දැන් අපි මේ දක්වා ප්‍රසම්පාදන කටයුතු කළේ තිබිච්ච ප්‍රසම්පාදන කොන්දේසි අනුව. ඒ වගේම දැන් අපි මේ අලුත් තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන ඉස්සරහට, දැන් මේ දවස්වල මූලික ප්‍රසම්පාදනයක් සැකසෙමින් පවතිනවා 2026 - 2027 වර්ෂය සඳහා. ඒ කියන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් සහ ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා වන ගල් අඟුරු වාරය සඳහා. ඒකෙදි මෙම තත්ත්වයන්ද දැඩි ලෙසම සැලකිල්ලට ගෙන, ඒ අනුව අපි කොහොමද මේවා වළක්වා ගන්නේ, මේ වගේ වෙනසක් වෙනවා නම්, ගොඩබෑමේ වාර්තාවට පටහැනි විදිහට බලශක්ති නිෂ්පාදනය වෙනස් වෙනවා නම්, ඒකට අදාළ පාඩුවක් වෙනවා නම්, ලංකාවට පාඩුවක් වෙනවා නම් ඒකත් අයකරගන්නේ කොහොමද, මේ සැපයුම්කරු හරි විදිහට මේක සපයන්න කොහොමද පොළඹවන්නේ කියන අවශ්‍ය කොන්දේසි සහ එයට අවශ්‍ය ගිවිසුම් සකස් කරනවා. විශේෂයෙන්ම සමීකරණ (formula) තියෙනවා. ඒවා සංශෝධනය කරලා ඉස්සරහට ගන්න අපි අවශ්‍ය කටයුතු දැනටමත් උපදෙස් දීලා තියෙනවා අදාළ ලංකා කෝල් සමාගමට.
ඒ වගේම දැනටත් අපි මේ වෙනකොට පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා මේ දක්වාම ලබාගෙන තියෙනවා. සැපයුම්කරු විසින් නම් කරන ලද, අපේ ලංකා කෝල් සමාගම ද පිළිගත්ත ස්වාධීන තත්ත්ව පරීක්ෂණ ආයතනයක් හරහා තමයි වාර්තා නිකුත් කරන්නේ. ඊට අමතරව දැන් අපි අලුත් ආයතනයක්, වෙනත් තුන්වැනි පාර්ශ්වයක්, ඒ කියන්නේ තවත් ස්වාධීන රසායනාගාරයකින් ඉදිරි නැව්වල වාර්තා ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. මං හිතන්නේ ඊළඟට එන දොළොස්වැනි නැව බොහෝවිට අපිට එතනින් ගන්න වෙන්නේ, අනිත් ඒවා පටවලා ඇවිල්ලා තියෙන හින්දා. ඒ අනුව අපි ඉස්සරහට ඒ සාම්පල් එකත් අපි චෙක් කරලා බලනවා. ඒ වගේම තවත් විදිහකින් අර කියනවා වගේ අපි ගිවිසුම් ප්‍රකාරව අය කරගන්න තියෙන, අය කරගන්න හැකි අලාභයට හෝ දඩයට අමතරව තවත් එහා ගිය දේවල් මාධ්‍යවල වාර්තා වෙනවා. ඉදිරි පියවර සහ විනිවිදභාවය
විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයෙන් ඇස්තමේන්තු කරලා දීපු යම් යම් සංඛ්‍යාලේඛන ලංකා විදුලිබල මණ්ඩලය හරහා ආවා. ඒකෙදි අර කිව්වා වගේ වෙන්න තියෙන නරකම, දරුණුම විදිහේ අලාභය ගැන තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ. ඒකත් අපි සලකලා බලලා, අපි ඇත්තටම දැන් අද දිනය වෙනකොට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න තීරණය කරලා තියෙනවා. මම ලේකම්තුමාට උපදෙස් දීලා, දැන් ලේකම්තුමා අවශ්‍ය කමිටු පත් කිරීමේ කටයුතුවල නිරත වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සහ මේකට ප්‍රමාණික දැනුවත්කමක් තියෙන වෘත්තිකයන් හරහා මේකට නිර්දේශ ලබාගන්නවා. මේ වගේ තත්ත්වයක්, වෙනසක් වෙනවා නම් ඒකට අවශ්‍ය නිර්දේශ සහ ඉදිරියේදී එම තත්ත්වයක් ඇතිවෙනවා නම් ඒක වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කොහොමද යොදන්නේ කියන එක ගැන. ඒකට අවශ්‍ය නිර්දේශ අමාත්‍යාංශයටත්, ලංකා කෝල් සමාගමටත් ලබාගැනීමේ කටයුතුවල අපි යෙදිලා ඉන්නවා. ඒ වගේම ඒ අනුව අපි ඉදිරි ප්‍රසම්පාදනයේදී අවශ්‍ය කටයුතු කරනවා.
ඒවා තවත් දුරකට අපි නීත්‍යානුකූල විදිහට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා, මෙම ගිවිසුම අනුව අපි කටයුතු කිරීමේදී තවදුරටත් අපිට කටයුතු කරන්න හැකියාව තිබෙන ප්‍රතිපාදන මොනවාද කියලා. මං හිතන්නේ ඉදිරි දිනවලදී ඒක ලිඛිතව ලබා දෙයි. අපි අවශ්‍ය උපදේශනය ලබා ගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ලිඛිත උපදෙස් අපට ඉදිරියේදී ලැබීමට නියමිතයි. අපි ඒ අනුව කටයුතු කරනවා.
මොකද මේකේ පැහැදිලිව කියන්න ඕනේ, මේ ප්‍රසම්පාදනයේ හෝ සැපයීමේ ලංකා කෝල් සමාගමේ හෝ අමාත්‍යාංශයේ කිසිම වංචාවක් සිදු වෙලා නැහැයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ වගේම මේකෙන් කිසිම බරක් මහජනතාවට විදුලි බිල හරහා ලබා නොදීමට තරම් වගකීම් සහගතව අපි කටයුතු කරනවා කියලා තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා.