හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළව රජය විසින් ඉදිරිපත් කළ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණය කථානායකවරයා විසින් අද (06) පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දෙන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.
අදාළ පනත් කෙටුම්පතේ ඇතුළත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව අධිකරණය විසින් තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය සරල බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පූර්ණ තීරණය අද දින හැන්සාඩ් වාර්තාවේ මුද්‍රණය කිරීමට නියමිත අතර, මෙම පනත හරහා මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට සහ විවේචනයට ලක්වූ මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට නීතිමය අඩිතාලම වැටෙනු ඇත. සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම වැටුප් අයිතිය ලබා ගැනීමට වසර 10ත් 20ත් අතර දීර්ඝ සේවා කාලයක් අවශ්‍ය වුවද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5ක කෙටි ධුර කාලයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීම සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබූ කරුණකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබීමත් සමඟ රජයට මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම නව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරියට පත්වන මන්ත්‍රීවරුන්ට මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ද සිය ධුර කාලය අවසානයේදී විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබෙන අතර, මීට පෙර පැවති නීතිය යටතේ වසර 5ක සේවා කාලයකින් පසුව හිමි වූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.