someone-who-came-to-the-hospital-to-see-a-disciple-of-kudu-salindu-showed-a-pistol

කඵතර බන්ධනාගාරයේදී පහරකෑමට ලක්ව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩු සළිඳුගේ ගෝලයකු බැලීමට පෙරේදා (04) අලුයම 2.30 ට පමණ පැමිණ ඇති පුද්ගලයකු රෝහලේ ආරක්ෂක නිලධාරියකුට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.




ඉකුත් ජනවාරි 28 වැනි දින බන්ධනාගාරය තුළදී පහරකෑමට ලක්ව ඇති කුඩු සළිඳුගේ ගෝලයකු බව කියන රැඳවියකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වාට්ටුව අසල දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරියා මෙම සිද්ධියට මුහුණදී තිබේ.

“මා රාජකාරියේ නිරතව සිටියදී ඉලෙක්ට්‍රික් යතුරු පැදියකින් ආ අයකු තම ඥාතියකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුට අසාධ්‍ය බව දැනගත් නිසා බැලීමට පැමිණි බවත් කියා දොරටුව විවෘත කරන ලෙස ඉල්ලා සිටියා. මා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට ඔහු මට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළා. මට ඇතිවූ බය නිසා කිසිවකුටවත් කීවේ නැහැ” යැයි ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණි.




මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබුණේ පෙරේදා 04 වැනිදා සවස 3.00 ට වන අතර ආරක්ෂක අංශයේ ඔහුගේ සමීපතම අධීක්ෂණ නිලධාරියා ප්‍රකාශ කරඇත්තේ තමා ඒ පිළිබඳව නොදැන සිටි බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳව සැකයක් මතුවී ඇතැයි පොලිසිය කියයි. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.