the-student-who-did-al-in-russia-and-was-admitted-to-the-faculty-of-medicine-in-ceylon-by-court-order

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට ශ්‍රී ලංකාවේ උසස්පෙළ සමත්වීම හැර වෙන විකල්ප තිබේදැයි මින් පෙර අදහසක් නොවුණි. කෙසේ වෙතත් අධිකරණය මගින් ලබාදී ඇති සුවිශේෂ නඩු තීන්දුවක් මගින් මෙයට විකල්ප ඇති බවත් විදේශ රටක උසස් පෙළ විභාගයකින් මෙරට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබී ඇති බවත් වාර්තාවේ.

රුසියාවේ පැවති උසස් පෙළ විභාගයට සමාන විභාගයක් සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් සපුරා සිටි සිසුවෙකුගේ අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. ඒ අනුව අගතියට පත් එම සිසුවා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් වෙත ඇතුළත් කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත නියෝග නිකුත් කරන ලදී.




බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නම් සිසුවා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. පෙත්සම්කාර සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇති අතර, පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයෙකු වූ ඔහුගේ පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීම හේතුවෙන් ඔහුද රුසියාව බලා ගොස් ඇත. රුසියාවේදී ඉන්දියානු, පාකිස්තානු සහ බංග්ලාදේශ සිසුන් අධ්‍යාපනය ලබන පාසලකට ඇතුළත් වූ ඔහු, එහිදී ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගයට පෙනී සිට එය සමත්ව ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන සුදුසුකමක් ලෙස පිළිගැනෙන බවත් අධිකරණය හමුවේ කරුණු තහවුරු කර තිබේ. කෙසේ වෙතත් මෙම සිසුවාගේ ඉසෙඩ් අගය මැන බැලුවේ කෙසේද යන්න පැහැදිලි නැත.

විදේශ විභාගයෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙරට රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා ඔහු අයදුම්පතක් යොමු කර ඇතත්, අදාළ නිර්ණායකයන්ට ඔහු ඇතුළත් නොවන බව සඳහන් කරමින් එම අමාත්‍යාංශය විසින් ඔහුගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබිණි. මෙම ප්‍රතික්ෂේප කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සිසුවා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.




ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැණුනු අතර, විනිසුරු ජනක් ද සිල්වා සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු දැක්වූ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය පෙනී සිටියාය. අදාළ සිසුවා වෛද්‍ය පීඨ ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයට මෙම ක්‍රියාවලියට මැදිහත් වීමට අවසරයක් නොමැති බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.