තමන් ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් බලධාරීන් දක්වන නිහඬ පිළිවෙතට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති විසි එකක එකමුතුවක් අද (26) දින සංකේත වැඩවර්ජනයක් දියත් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව පවසන පරිදි මෙම වර්ජන ක්‍රියාමාර්ගය අද මධ්‍යහ්න 12.00 ට ආරම්භ වී පස්වරු 6.00 දක්වා පැය හයක කාලයක් පුරාවට ක්‍රියාත්මක වනු ඇත.
මෙම පැය හයක කාලසීමාව තුළ විදුලිබල මණ්ඩලයේ සියලුම අංශවල රාජකාරී සම්පූර්ණයෙන්ම අක්‍රිය වනු ඇති අතර, අදාළ කාලය තුළ වාර්තා වන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට සේවකයන් කටයුතු නොකරන බව එම එකමුතුව අවධාරණය කරයි. මීට අමතරව කාර්යාල කාර්ය මණ්ඩලයද මෙම විරෝධතාවයට එක්වන බැවින් පරිපාලන කටයුතු ද මුළුමනින්ම ඇනහිටිනු ඇත. සිය සාධාරණ හා යුක්ති සහගත ඉල්ලීම් ලබාදීම පසෙකලා බලධාරීන් දිගින් දිගටම කාලය ගත කිරීම හේතුවෙන් මෙවැනි දැඩි තීරණයකට එළඹීමට සිදුවූ බවත්, මේ හැර වෙනත් විකල්පයක් තම සංගම්වලට ඉතිරිව නොතිබූ බවත් වර්ජකයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයාද නිසි පරිදි දැනුවත් කර ඇති බව පවසන ඔවුහු, ඉංජිනේරු සංගමය, තාක්ෂණික ඉංජිනේරු අධිකාරී සංගමය, කාර්මික ශිල්පීන්ගේ සංගමය මෙන්ම නිදහස් හා ජාතික සේවක සංගම් ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා පූර්ණ දායකත්වය සපයන බව සඳහන් කරති.
මේ අතර, මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මුදල් ගෙවීමේ රාජකාරිවලින් හෙට (27) දිනයේ සිට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර මහතා ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ගෙවීමට පොරොන්දු වූ දීමනා මෙතෙක් සිය නිලධාරීන්ට ලබා නොදීම, සහන සැලසීමේ කටයුතුවලදී නිලධාරීන් අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීම සහ වන්දි ගෙවීමේදී ලබාදී ඇති මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකිරීම යන කරුණු පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.
ආපදාවට ලක්වූවන් සඳහා රුපියල් ලක්ෂ පහක වන්දියක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට තම සංගමයේ කිසිදු විරෝධයක් නොමැති වුවද, එම මුදල් බෙදාදීමේ ක්‍රියාවලිය හරහා රජය විසින් ග්‍රාම නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් දැඩි අවදානමකට ලක්කර ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. වන්දි ගෙවීමේ වැඩපිළිවෙළේ පවතින මෙම දැඩි අවුල් සහගත තත්ත්වයට සහ පොරොන්දු වූ දීමනා කප්පාදු කිරීමට එරෙහිව පසුගිය 23 වැනිදා සියලු වෘත්තීය සමිති සමඟ පැවැති ඒකාබද්ධ සාකච්ඡාවකදී සිය ඉල්ලීම් දිනාගැනීමේ අරමුණින් මෙම රාජකාරිවලින් ඉවත්වීමේ තීරණයට එළඹි බවද පාලිත උපුල් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.