america-faced-the-worst-snow-storm-in-a-decade-photos

ඇමරිකා එක්සත් ජනපදයේ හටගෙන ඇති දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් සහ එදිනෙදා ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී තිබේ. ඉරිදා සිට අඟහරුවාදා දක්වා කාලය තුළ පමණක් ගුවන් ගමන් 11,055 කට වඩා වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

'ෆ්ලයිට්අවෙයාර්' (FlightAware) ගුවන් ගමන් නිරීක්ෂණ සමාගමට අනුව, සඳුදා දිනයේ දී පමණක් අවලංගු වූ ගුවන් ගමන් සංඛ්‍යාව 5,600 ත් 5,700 ත් අතර වන අතර එය සමස්ත රටේ ගුවන් ගමන්වලින් සියයට විස්සක පමණ ප්‍රතිශතයකි. තවද, මෙම අයහපත් කාලගුණය හේතුවෙන් ඊසානදිග ප්‍රාන්තවල නිවාස ලක්ෂ හයකට අධික ප්‍රමාණයක විදුලි සැපයුම බිඳ වැටී ඇති අතර, සඳුදා සවස් වන විටත් නිවාස සහ කාර්යාල 519,232 ක් විදුලිය නොමැතිව පැවති බව වාර්තා වේ.




මෙම අධික හිම පතනයේ බලපෑම කෙතරම්ද යත්, වසර 153 ක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට 'ද බොස්ටන් ග්ලෝබ්' (The Boston Globe) පුවත්පත මුද්‍රණය කිරීම ද නතර වී ඇත. සේවකයින්ට මුද්‍රණාලය වෙත පැමිණීමට නොහැකි වීම ඊට හේතුව වී තිබේ. ජාතික කාලගුණ සේවයට අනුව, රෝඩ් අයිලන්ඩ් සහ මැසචුසෙට්ස් ප්‍රාන්තවල සමහර ප්‍රදේශවලට අඟල් 37 ක පමණ හිම පතනයක් වාර්තා වී ඇත. මීට අමතරව, නිව්යෝර්ක් හි සෙන්ට්‍රල් පාක් ප්‍රදේශයට ඉරිදා සහ සඳුදා අතර කාලය තුළ අඟල් 20 ක පමණ හිම පතනයක් ද, ලෝන්ග් අයිලන්ඩ් හි ඉස්ලිප් ප්‍රදේශයට අඟල් 22 කට වැඩි හිම පතනයක් ද ලැබී තිබේ. විශේෂයෙන්ම, රෝඩ් අයිලන්ඩ් හි ප්‍රොවිඩන්ස් ප්‍රදේශයට වාර්තා වූ අඟල් 32.8 ක හිම පතනය, 1978 වසරේදී වාර්තා වී තිබූ අඟල් 28.6 ක පැරණි වාර්තාව ද බිඳ හෙළීමට සමත් වී ඇත.

තත්ත්වය ඉතා දරුණු අතට හැරීමත් සමඟ ප්‍රාන්ත කිහිපයකම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. නිව්යෝර්ක් නගරයේ පාසල්, මාර්ග, පාලම් සහ මහාමාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ අතර, පසුව තත්ත්වය සමනය වීමෙන් අනතුරුව අඟහරුවාදා දින පාසල් නැවත විවෘත කරන බව නගරාධිපති ජොහ්රාන් මම්දානි ප්‍රකාශ කළේය. මැසචුසෙට්ස් හි ආණ්ඩුකාර මෝරා හීලි සමහර ප්‍රදේශ සඳහා සංචාරක තහනම් පැනවූ අතර ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස ද ඉල්ලා සිටියාය. රෝඩ් අයිලන්ඩ් හි ආණ්ඩුකාර ඩෑන් මැකී ද ප්‍රාන්තය පුරා සංචාරක තහනමක් පැනවූ අතර, නිව්යෝර්ක් ආණ්ඩුකාර කැතී හොචුල් ප්‍රාන්තය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජාතික ආරක්ෂක බලකාය ද සූදානම් කර ඇත. මෙම තත්ත්වය මගී ප්‍රවාහනයට ද දැඩි ලෙස බලපා ඇති අතර, නිව්යෝර්ක් සහ බොස්ටන් අතර දුම්රිය සේවය සඳුදා රාත්‍රිය වන තෙක් අත්හිටුවා තිබූ අතර බ්‍රෝඩ්වේ හි සියලුම නාට්‍ය දර්ශන ඉරිදා සවස අවලංගු කෙරිණි.




කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙය පසුගිය දශකය තුළ ඇති වූ ප්‍රබලතම 'නෝර්ඊස්ටර්' (Nor'easter) කුණාටුව බවයි. ඇතැම් ප්‍රදේශවලට පැයට අඟල් 2 ත් 3 ත් අතර ප්‍රමාණයක හිම පතනයක් අපේක්ෂා කරන බවට අනතුරු අඟවා ඇති අතර, සමහර ස්ථානවල සුළඟේ වේගය පැයට සැතපුම් 110 දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපාන මෙම 'නෝර්ඊස්ටර්' කුණාටු තත්ත්වය නිර්මාණය වන්නේ, කැනඩාව දෙසින් හමා එන අධික ශීතල වාතය සහ අත්ලාන්තික් සාගරය දෙසින් ඉහළට නැගෙන සාපේක්ෂව උණුසුම් සහ තෙතමනය සහිත වාතය එකිනෙක ගැටීමෙනි. සාගර ජලයේ පවතින උණුසුම් ස්වභාවය හේතුවෙන් වාතයේ තෙතමනය වැඩි වන අතර, එය සීතල වාතය සමඟ මිශ්‍ර වූ විට මෙලෙස අධික හිම පතනයක් බවට පත්වේ. ඊට අමතරව, 'ජෙට් ස්ට්‍රීම්' (Jet Stream) ලෙස හැඳින්වෙන ඉහළ අහසේ වේගයෙන් හමා යන සුළං ද මෙම කාලගුණික පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වේ.



gossiplanka collage