someone-who-sneaked-into-the-phones-of-young-women-and-stole-nude-videos-was-brought-to-court

පසුගිය වසර තුනක කාලය පුරාවට තරුණියන්ගේ ජංගම දුරකථනවලට අනවසරයෙන් පිවිස, ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගෙන එමගින් තරුණියන් බිය ගන්වමින් තවදුරටත් එවැනි වීඩියෝ ඉල්ලා තර්ජනය කළ තරුණයෙකු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (25) නියෝග කළේය.




මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි, පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන තරිඳු දිරංග නැමැති තරුණයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක මහතා කරුණු පැහැදිලි කළේය. ඔහු අධිකරණයට ප්‍රකාශ කර සිටියේ, මෙම පුද්ගලයා ව්‍යාජ IMEI අංක භාවිතා කරමින් ඉතා සූක්ෂම ලෙස වංචනික අන්තර්ජාල සබඳතා හරහා අදාළ තරුණියන්ගේ දුරකථන හැක් කර ඇති බවයි.




එලෙස අනවසරයෙන් බාගත කරගත් නිරුවත් වීඩියෝ පට අදාළ තරුණියන්ගේ වට්ස්ඇප් (WhatsApp) ගිණුම් වෙතම යවා, තමන්ගේ ඉල්ලීම්වලට අවනත වී තවදුරටත් එවැනි දර්ශන ලබා නොදුන්නහොත් එම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු පැමිණිලිකාරියන්ට දැඩි ලෙස තර්ජනය කර තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් කළුතර සහ පානදුර යන ප්‍රදේශවලින් තරුණියන් දෙදෙනෙකු විසින් 2023 වසරේදී සිදු කරන ලද පැමිණිලි මත පරීක්ෂණ ආරම්භ කර ඇත. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු හඳුනාගත නොහැකි එම්.ඊ.අයි අංක සහිත දුරකථන මෙන්ම වී.පී.එන් (VPN) තාක්ෂණයද භාවිතා කරමින් සිය ෆේස්බුක් සහ වට්ස්ඇප් ගිණුම් මෙහෙයවා ඇති බවයි.



කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් මත ෆේස්බුක් සමාගමෙන් අදාළ තාක්ෂණික තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශකයන් සමත් වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියමිත දින දක්වා ඔහු රිමාන්ඩ් භාරයට පත් කළේය. ඊට අමතරව, මෙම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ පූර්ණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට විශේෂ නියෝගයක් නිකුත් කරන ලදී.