ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් අවි ගබඩා ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු වලින් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය විසින් ඊයේ තීරණය කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සඳහා මෙම පෙත්සම් තුළ ප්‍රමාණවත් නීතිමය පදනමක් අනාවරණය නොවන බව එහිදී අවධාරණය කෙරිණි.
මෙම පෙත්සම් සලකා බැලීමේදී පෙත්සම්කාර සමාගම සහ සේවකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සහ කුවේර ද සොයිසා යන මහත්වරුන් තර්ක කළේ, විකල්ප ස්ථානයක් ලබා දීමකින් තොරව අත්තනෝමතික ලෙස අවි ගබඩා ඉවත් කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි බවයි. කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සමඟ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විකුම් ද ආබෲ මහතා පෙන්වා දුන්නේ අගෝස්තු මාසයේ නිකුත් කළ නියෝගයකට එරෙහිව අවසන් මොහොතේ අධිකරණයට පැමිණ සහන පැතීම අනුමත කළ නොහැකි බවත්, පෙත්සම්කාර සමාගමට පහසුකම් සැලසීමෙන් ඉවත් වීමට නාවික හමුදාව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල බවත්ය. කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන නාවික කඳවුරුවල පවත්වාගෙන ගිය අදාළ අවි ගබඩා නොවැම්බර් 28 වැනිදාට පෙර ඉවත් කරගන්නා ලෙස පසුගිය අගෝස්තු 28 වැනිදා ආරක්ෂක ලේකම්වරයා විසින් සමාගමට ලිඛිතව දැනුම් දී තිබුණි.
මෙම සමුද්‍රීය ආරක්ෂක සේවා කටයුතු රජයට පවරා ගැනීම සිදු වූයේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකයට ඇති බලපෑම සම්බන්ධයෙන් පසුගිය ජුනි 18 වන දින සම්මත වූ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් සහ අගෝස්තු 10 වන දින නිකුත් කළ අංක 2449/24 දරන ගැසට් නිවේදනය මත පදනම්වය. නාවික හමුදා පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල අනුව ජාතික අවශ්‍යතාවය මත මෙම නාවික නොවන රාජකාරි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරනු ලැබූ අතර, ඒ අනුව ඔක්තෝබර් 03 වන දින සිට සමුද්‍රීය ආරක්ෂක කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වේ.
නාවික හමුදාව විසින් මෙම මෙහෙයුම් භාරගැනීමෙන් පසුව ඔක්තෝබර් 03 දින සිට පෙබරවාරි 25 දක්වා වූ මාස හතරක පමණ කෙටි කාලය තුළ මෙහෙයුම් 404ක් සාර්ථකව සිදු කර ඇත. ඒ හරහා ඇමරිකානු ඩොලර් 690,000කට ආසන්න සෘජු විදේශ විනිමය ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට උපයා දීමට නාවික හමුදාව සමත් වී තිබේ. මීට පෙර මෙම මෙහෙයුම් සිදු කළ ඇවන්ගාඩ් සමාගම විදේශීය නෞකා වෙතින් ඩොලර් මගින් විශාල ආදායමක් උපයා ගත්තද රජයට අදාළ ගාස්තු ගෙවා ඇත්තේ රුපියල් වලින් බවත්, එසේ තිබියදීත් මේ වන විට එම සමාගම රජයට රුපියල් මිලියන 782ක පමණ විශාල මුදලක් ගෙවීමට පැහැර හැර ඇති බවත් අනාවරණය වී ඇත.
විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් නිශ්ශංක සේනාධිපති මහතාගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේදී පමණ ආරම්භ වූ මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් අතීතයේදී ද ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් වාර්තා විය. 2015 වසරේදී ගාල්ල මුහුදු තීරයේදී එම්.වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816ක් සහ උණ්ඩ 203,395ක් තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි. ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ එම නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සාක්ෂිය මත විත්තිකරුවන් අට දෙනාම නිදොස් කොට නිදහස් කරන ලදී. ඉන්පසු 2015 සිට 2019 දක්වා රක්නා ලංකා සමාගම සමග හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වූ මෙය 2019න් පසුව නැවතත් සම්පූර්ණයෙන්ම ඇවන්ගාඩ් සමාගම වෙතම පවරනු ලැබීය.
රජයේ පාලනයෙන් තොර මෙවැනි දැවැන්ත පෞද්ගලික සන්නද්ධ බලකායක් පවත්වාගෙන යාම රුසියාවේ වාග්නර් (Wagner) කුලී හමුදාවට සමාන තත්ත්වයක් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල කළ බවටද පාර්ශව රැසකින් චෝදනා නැගී තිබුණි. ඊට අමතරව, සමාගමේ සභාපතිවරයා සිය ධනය හා බලය යොදාගනිමින් දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ග්‍රහණයට නතු කරගත් බවට විවිධ සිදුවීම් ඔස්සේ පෙනී ගොස් ඇත. වජිර අබේවර්ධන වැනි දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත දුරකථන සංවාද සංස්කරණය කරමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීම සහ චම්පික රණවක වැනි දේශපාලනඥයින් ඉලක්ක කරගනිමින් සිදුකළ විවිධ බලපෑම් ඊට නිදසුන් ලෙස අදාළ කාලවකවානුව තුළ ප්‍රසිද්ධියට පත් විය.