රටේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය දැඩි අවදානමකට ලක්ව ඇති බැවින් එය සුරක්ෂිත කිරීම උදෙසා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව අලුතින් පිහිටුවාගත් "හඬ" සංවිධානයේ නියෝජිතයන් සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් ඊයේ (25) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී ඔහු මේ බව අවධාරණය කළේය.
නීතිඥ ප්‍රජාව බියගැන්වීමට සහ පූජ්‍ය මහා සංඝරත්නයට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සමස්ත විපක්ෂයම එක් පෙරමුණකට පැමිණීමේ දැඩි අවශ්‍යතාවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, විවිධ දේශපාලන මතවාද දරන පිරිස් එක්ව මෙන්ම එකිනෙකාට විරුද්ධවද කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් බවයි. වර්ෂ 1948 සිට මේ දක්වා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි නව ප්‍රබෝධයක් ඇති කිරීමට සියලු දෙනාම කටයුතු කර ඇති බවත්, එම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ ප්‍රතිඵල ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද භුක්ති විඳිමින් සිටින බවත් ඔහු සිහිපත් කළේය. කුමන දේශපාලන වෙනස්කම් පැවතියද, ආර්ථිකය, විදේශ හා ස්වදේශ කටයුතු, අධ්‍යාපනය මෙන්ම බහු පක්ෂ ක්‍රමයද ආරක්ෂා කර ගැනීමට සියලු පාර්ශ්වයන් එකඟතාවකින් යුතුව බැඳී සිටින බව හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ මහා සංඝරත්නයට එරෙහිව ගෙනයන සංවිධානාත්මක ව්‍යාපාරය සහ නීතිඥවරුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මර්දනය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා දැඩි කනස්සල්ල පළ කළේය. මෑතකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට ලක්වීම මෙන්ම විපක්ෂයේ ක්‍රියාකාරීන් විවිධ චෝදනා යටතේ නඩු වලට පැටලවීමට දරන උත්සාහයන් මෙහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. දේශපාලන පක්ෂ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අඩාල කරමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන මෙවැනි උත්සාහයන් පරාජය කිරීම වෙනුවෙන් තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය හිමිවන බවද ඔහු සහතික විය.
" රටේ නීතිඥයන් බිය ගන්වන වැඩපිළිවෙළක් අප වර්තමානයේ දකිනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේ පිරිසක් සංඝරත්නයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. ඒ සියල්ලටම අප විරුද්ධ විය යුතුයි. විරුද්ධ වනවා පමණක් නොව ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. නීතිඥයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම පිළිබඳව අප දිගටම සාකච්ඡා කළා. අප සියලු දෙනාටම නොයෙක් චෝදනා දමා නඩුවලට පටලවන්න හදනවා. මේ උත්සාහ කරන්නේ පක්ෂ ක්‍රියාත්මක වීම වැලැක්වීමයි. එමෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී වීම වැළැක්වීමයි. අධිකරණ නීතිඥයන්ගේ ස්වාධීනත්වය නැති කිරීමයි. මේ සඳහා අප එකතුවෙන් ක්‍රියා කළ යුතුයි. ඔබ සමග එකතු වී ඒ වැඩ කටයුතු කරන්න මගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ සහාය ලබා දෙනවා."
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ, තම තමන්ගේ පක්ෂ අනන්‍යතාවන් සුරකිමින්ම රටේ ජාතික අර්බුද හමුවේ විපක්ෂය පොදු වැඩපිළිවෙළක් යටතේ ඒකරාශී විය යුතු බවයි. මහමඟ සිදුවන ඝාතන සහ විපක්ෂයේ නායකයින් අඛණ්ඩව සිරගත කිරීමේ ක්‍රියාදාමය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට බරපතළ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවද ඔහු කියා සිටියේය. හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසංක නවරත්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජයන්ත විජේසිංහ, සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ.