ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සංවිධානය කර අවසන්ව තිබේ. මෙම තරගාවලිය 2026 වසරේ පෙබරවාරි මස 07 වන සෙනසුරාදා දින සිට මාර්තු මස 08 වන දින දක්වා මසකට අධික කාලයක් පුරා පැවැත්වීමට නියමිත අතර දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ තුනකදී තරග පැවැත්වෙනු ඇත.
ඒ අනුව කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේදී තරග 05ක් ද, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග 08ක් ද සහ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරග 07ක් ද වශයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.තරගාවලිය සඳහා පැමිණෙන දෙස් විදෙස් ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. සමස්ත තරගාවලිය ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 2500කට අධික සංඛ්‍යාවක්, රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 600කට අධික පිරිසක් මෙන්ම සිවිල් සහ බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණ වෙත ඇතුළුවන ප්‍රේක්ෂකයින් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන අතර විශාල ගමන් මලු, ආරක්ෂක හිස්වැසුම් (Helmets), ජැකට්, වීදුරු බෝතල් සහ මත්පැන් රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මීට අමතරව ඩ්‍රෝන කැමරා, මුවහත් ආයුධ සහ ඉලෙක්ට්‍රොනික උපාංග රැගෙන ඒමෙන් වළකින ලෙසත්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සී.සී.ටී.වී (CCTV) තාක්ෂණය, ශරීර පරීක්ෂා කිරීම් සහ වාහන පරීක්ෂා කිරීම් සිදු කරන බැවින් ඊට සහාය ලබා දෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන දිනවලදී වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ පාලම අසලින්, සෙබෙස්තියන් ඇළ මාර්ගයේ මැල්වත්ත පාලම අසලින්, අඩි 100 පාර සහ ඛෙත්තාරාම පන්සල පාර ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත. මෙම ප්‍රේක්ෂකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා ක්‍රීඩාංගණ රථගාල, ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් (Mati Park), සතොස රථගාල, ඇපල්වත්ත අඩි 100 පාර, කෝවිල පාර සහ පෝර්ට් සිටි රථගාල වෙන්කර ඇති අතර විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක වේ.
එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන තරග සඳහා ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය පරිපාලන හන්දියෙන් සහ විද්‍යා මාවත හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීමත්, විජේරාම හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීමත් සීමා කිරීමට නියමිතය. මෙම තරග නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා එස්.එස්.සී ක්‍රීඩා සමාජ රථගාල, නිදහස් මාවත රථගාල, පදනම් ආයතන මාවත, සී.එච්. ඇන්ඩ් එෆ්.සී (CH & FC) ක්‍රීඩාංගණ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී සංස්ථා භූමිය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රථවාහන ගාල් කිරීමට පහසුකම් සලසා තිබේ.