අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවන අදියර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම-සත්කාරකත්වයෙන් 2026 පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
දින 30ක් පුරා ක්‍රියාත්මක වන මෙම තරගාවලිය සඳහා මූලික වටය, සුපිරි 8 වටය, අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරගය ඇතුළුව මුළු තරග 55ක් ඇතුළත් වේ.මෙවර තරගාවලිය සඳහා ලොව ප්‍රබලතම කණ්ඩායම් 20ක් සහභාගී වන අතර තරග ආකෘතිය පසුගිය 2024 වසරේ පැවති තරගාවලියට සමාන අයුරින්ම ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව මූලික වටයේදී සහභාගී වන කණ්ඩායම් 20, කණ්ඩායම් පහ බැගින් වූ කාණ්ඩ හතරක් යටතේ තරග වදින අතර ඉන් අනතුරුව සුපිරි 8 වටය සහ අවසන් වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරග පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක්වන කණ්ඩායම් කාණ්ඩ ගත කිරීමේදී 'ඒ' කාණ්ඩය යටතේ සත්කාරක ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, නැමීබියාව, නෙදර්ලන්තය සහ පාකිස්තානය තරග වදිනු ඇත. සත්කාරක ශ්‍රී ලංකාව 'බී' කාණ්ඩයට ඇතුළත් වී ඇති අතර ඔවුන් සමඟ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය එම කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි. එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය සහ නේපාලය 'සී' කාණ්ඩයෙන් තරගාවලියට එක්වන අතර දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 'ඩී' කාණ්ඩයෙන් ලෝක කුසලානය වෙනුවෙන් තරග කරනු ඇත.



