ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට ඒකාබද්ධ හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමකට මැදිවී තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් ඉරානය විසින් ඊශ්‍රායලයට මෙන්ම ඩුබායි, කටාර්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල 400කට ආසන්න ප්‍රමාණයක් දියත් කර ඇත.
'එපික් ෆියුරි' (Epic Fury) සහ 'මගෙන් යෙහුඩා' (Magen Yehuda) යන කේත නාමයන්ගෙන් ක්‍රියාත්මක වන මෙම ඇමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම හරහා ඉරානයේ බුද්ධි අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සහ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ කාර්යාලය දැඩි ලෙස ඉලක්ක කර තිබේ. ප්‍රහාරය හමුවේ උත්තරීතර නායකයා සහ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වන නමුත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
මෙම යුදමය මැදිහත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම සහ ඇමෙරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ප්‍රහාරයට පෙර සිටම ඇමෙරිකාව විසින් මැදපෙරදිග කලාපයේ සිය හමුදා ශක්තිය දැඩි කර තිබූ අතර, 'USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ්' න්‍යෂ්ටික ගුවන් යානා හාරක නෞකාව මෙන්ම F-22 සහ F-35 වර්ගයේ නවීන ප්‍රහාරක යානා 50කට වැඩි ප්‍රමාණයක් කලාපයට යොමු කර තිබුණි. මේ වන විටත් මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු භටයන් 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් රඳවා ඇත.
ඊශ්‍රායල ප්‍රහාරවලට එරෙහිව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් දියත් කළ ඉරානය, කලාපයේ පවතින ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත බැලිස්ටික් මිසයිල වරුසාවක් එල්ල කර තිබේ. කටාර්හි අල්-උඩෙයිඩ් කඳවුර, කුවේට්හි අල්-සලෙම්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-දෆ්රා සහ බහරේන්හි පස්වන ඇමෙරිකානු නාවික කඳවුර මෙම ප්‍රහාරවලට ලක්විය. මීට අමතරව ඩුබායි සහ සෞදි අරාබියේ රියාද් නුවරද පිපිරීම් වාර්තා වී ඇති අතර, අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එක් සිවිල් වැසියෙකු මියගොස් ඇත. මේ අතර, ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පාසල් දැරියන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
උග්‍ර වෙමින් පවතින මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග ගුවන් ගමන් මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අතර, ඊශ්‍රායලය, ඉරාකය ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප වසා දමා ඇත. එයාර් ඉන්ඩියා, බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ ලුෆ්තාන්සා ඇතුළු ප්‍රධාන ගුවන් සේවා රැසක් මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු කර තිබේ. මේ අතරතුර, ඉරානය තුළ අන්තර්ජාල සබඳතා දැඩි ලෙස කප්පාදු කර ඇති අතර, සමස්ත අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වන්නේ 4%ක තරම් සුළු ප්‍රමාණයක් බව අන්තර්ජාල නිරීක්ෂණ ආයතන පෙන්වා දෙයි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාව, යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන අතර, ඊශ්‍රායලයේ සහ ඉරානයේ වෙසෙන සිය පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස විවිධ රටවල තානාපති කාර්යාල නිවේදනය කර ඇත. මේ අතර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමෙරිකානු බලධාරීන් ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින ඉස්ලාමීය පාලනය පෙරළා දමා නිදහස් ඉරානයක් ගොඩනැගීම සඳහා පෙරමුණ ගන්නා ලෙසයි.