2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක තරගය වර්ජනය කිරීමට ගෙන තිබූ තීරණය හකුලා ගැනීමට පාකිස්ථාන රජය සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. කොළඹ ආර්.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙබරවාරි මස 15 වනදා පැවැත්වීමට නියමිත මෙම තරගය, කලාපීය භූ දේශපාලනික අර්බුද සහ බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දුන් ගැටලු මුල් කරගනිමින් වර්ජනය කරන බවට පාකිස්ථානය මීට පෙර නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ බංග්ලාදේශය ඇතුළු පාර්ශව කිහිපයක් අතර ලාහෝර් නුවරදී පැවති උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව, පාකිස්ථාන රජය විසින් සිය කණ්ඩායමට තරගාවලියේ සියලුම තරග සඳහා සහභාගී වන ලෙස පෙබරවාරි 09 සහ 10 දිනයන්හිදී නිල වශයෙන් උපදෙස් ලබා දී ඇත.මෙම තීරණය වෙනස් කිරීම සඳහා ප්‍රධානතම සාධකයක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද විශේෂ මැදිහත් වීමයි. ඉන්දු - පාකිස්ථාන තරගය වර්ජනය කිරීමේ අවදානම මතු වූ වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා සමඟ විශේෂ දුරකථන සංවාදයක නිරත වී ඇති අතර, එහිදී කලාපීය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට ගරු කරමින් සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඇතුළු මිත්‍ර පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බලමින් පාකිස්ථානය නැවතත් තරගයට අවතීර්ණ වීමට එකඟතාව පළ කර ඇත.
පාකිස්ථානයේ මෙම විරෝධතාවයට මූලික හේතුව වී තිබුණේ ආරක්ෂක සහ දේශපාලනික හේතූන් මත ඉන්දියාවේ පැවැත්වෙන තරගවලට සහභාගී වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ අර්බුදයයි.
පාකිස්ථානය ගත් මෙම ධනාත්මක තීරණය අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, 1996 ලෝක කුසලාන සමයේදී සහ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අවධියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පාකිස්ථානය සහ ඉන්දියාව ලබා දුන් සහයෝගය කිසිවිටෙකත් අමතක නොකරන බවයි. ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් මෙම 'A' කාණ්ඩයේ තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වනදා සන්ධ්‍යාවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන මෙම තරගාවලිය පෙබරවාරි 07 සිට මාර්තු 08 දක්වා ක්‍රියාත්මක වේ.