පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදු කෙරිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහ අදාළ ක්ෂේත්‍රවල විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් මගින් මෙම කෙටුම්පත පුළුල් සමාලෝචනයකට ලක් කිරීමට රජය අපේක්ෂා කරන බවයි. එම සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් පනත් කෙටුම්පත සම්මත කිරීමේ ඉදිරි පියවර නොගන්නා බවටද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥා දුන්නේය.
ප්‍රයිම් ලෑන්ඩ් සහ හෝම් කැන්ඩි යන සමාගම් මෙන්ම ගොඩනැගිලි බදු දීමේ ව්‍යාපාරවල නිරත තවත් පාර්ශවයන් විසින් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා මාර්ගයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි. යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත්, එහි අඩංගු ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි. එබැවින් මෙම පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ මන්ත්‍රී බහුතරයකගේ ඡන්දය සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, කෙටුම්පත සමාලෝචනය කරන තෙක් එය ඉදිරියට ගෙන නොයන බවට නීතිපතිවරයා ලබා දුන් එකඟතාව සැලකිල්ලට ගත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගත් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම් විභාගය අවසන් කරන ලදී.
මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, නීතිඥ නිරන්ජන් අරූප ප්‍රකාශම් සහ නීතිඥ වීරක්කොඩි යන මහත්වරු පෙනී සිටියහ.